හිටපු නගරාධිපතිවරයා පදිංචි ඉඩමෙන් නෙරපන ලෙස අධිකරණයෙන් නියෝගයක්…

මිනුවන්ගොඩ නගර සභාවට අයත් ඉඩමක බලහත්කාරයෙන් පදිංචි ව සිටි හිටපු නගරාධිපති නිව්ටන් කුරුකුලසූරිය යන අය සහ පවුලේ අය වහාම ඉන් නෙරපා හැරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
හිටපු නගරාධිපති වරයා ඇතුලු පවුලේ උදවිය 1977 වසරේ සිට මෙම නිවෙස සහ ඉඩම අයථා ලෙස පරිහරණය කර තිබේ.
1977 වසරේදී හිටපු පළාත් සභා මන්ත්‍රී බෙනට් ගුණසේකර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරියක් ලෙස නිව්ටන් ගුණසේකර යන අයගේ බිරිඳ මෙම නිවසේ පදිංචි වී තිබේ.

1988 වසරේදී නිව්ටන් ගුණසේකර යන අය නගරාධිපති වරයා වශයෙන් තේරීපත් වූ විට අදාළ නිවස කුලියට ලබා දුන් බවට ගිවිසුමක් ඔහුගේ බිරිඳ වන මොහොමඩ් ඉස්මයිල් නූර් ෆායිදා යන අයත් සමඟ අත්සන් කර ඇත.

මොවුන් විසින් අයථා ලෙස පරිහරණය කරන ලද පැරණි ගම් සභාව සහ ඊට අයත් ඉඩම නැවත පවරා ගැනීමට මිනුවන්ගොඩ නගර සභාව විසින් ගනු ලැබූ තීන්දුවකට අනුව 2009 වසරේදී බලයලත් බලධාරියා වශයෙන් පළාත් පාලන කොමසාරිස්වරයා විසින් 68 214 යන නඩුව පවරනු ලැබීය.

එලෙස පවරනු ලැබූ නඩු තීන්දුවට දිගින් දිගටම අභියාචනා ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා නඩුව ගෙන යාමට විත්ති පාර්ශ්වය කටයුතු කර තිබේ.

මෙම නඩුව නැවත විමර්ශනය කර මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී විමසීමට ලක් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව පැවැත් වූ නඩු විභාගයෙන් අනතුරුව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් දිසා විනිසුරු කේසර සමරදිවාකර මහතා විසින් නිව්ටන් කුරුකුලසූරිය, ඔහුගේ බිරිඳවන මොහොමඩ් ඉස්මයිල් නූර් ෆායි දා ඇතුළු පවුලේ අය අදාල නිවසෙන් නෙරපා හැරීමට නියෝග කර තිබේ.

මෙලෙස පවරාගත් පැරණි ගම් සභාව සහිත ඉඩමේ මිනුවන්ගොඩ නව පුස්තකාලය ගොඩනැගීමට මිනුවන්ගොඩ නගර සභාව තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *