මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට…

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු ජනාධිපති සිරිසේන දේශපාලන වැඩසටහනකට සහභාගී වෙමින් සිටියදී ඊයේ රාත්‍රියේ පැලවත්ත ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ රූපවාහිනී නාලිකාවක මැදිරියකින් පිටත මෙම සිද්ධිය සිදුව ඇති බව වාර්තා වේ.

සිද්ධිය වන විට අනෙකුත් ආරක්ෂක නිලධාරීන් මැදිරිය තුළ සිට ඇති අතර පසුපෙළ ආරක්ෂක රථයේ රියදුරු පමණක් මැදිරියෙන් පිටත මාර්ගයේ සිට ඇත.

බීමතින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂක ජීප් රථය අසල නොසන්සුන්කාරී ලෙස හැසිරුණු බවටයි වාර්තා වුණේ. බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පිරිස පොලිස් සැරයන්වරයාට පහර දී තිබේ.

තුවාල ලැබූ නිලධාරියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොස්වත්ත සහ බත්තරමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්. තලංගම පොලිසිය එම ස්ථානයේ තිබූ සීසීටීවී දර්ශන ඔස්සේ වැඩිදුර විමර්ශන සිදුකරන අතර ප්‍රකාශ කිහිපයක් ද සටහන් කර ගෙන ඇත. ඉතිරි සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *