කාබනික පොහොර භාවිතයෙන් ඉදිරියට යමු – ජනාධිපතිතුමා

හරි දේ කිරීම බරපතල අභියෝගයක් බව අවධාරණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අභියෝගයේ විශාලත්වය මධ්‍යයේ වුවද එකට එකතු වී අපේක්ෂිත ඉලක්ක සපුරා ගත හැකි බව වීඩියෝ තාක්ෂණය ඔස්සේ ගොවිජන සේවා නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී පැවසීය.

ගොවීන් මුහුණ දෙන දුෂ්කරතා නිරාකරණය කිරීමෙන් අපේක්‍ෂිත අරමුණු සාක්‍ෂාත් කර ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ගොවීන් හමුවී නිවැරදි කරුණු පැහැදිලි කිරීම ඉතා වැදගත් බව පැවසීය. රජයේ මූලික අරමුණ වී ඇත්තේ පරිසරය සහ මහජන සෞඛ්‍ය සුරක්‍ෂිත කරමින් ගොවීන්ට යහපත් ආදායමක් උපයන පරිසරයක් සැකසීමයි. හරිත කෘෂිකර්මාන්තයේ අරමුණ සෘතු එකක් හෝ දෙකක් පමණක් නොව පරම්පරා ගණනාවක් සඳහා ප්‍රතිලාභ ලබා දීම බව ජනාධිපතිවරයා පැවසීය.

ගොවීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු හඳුනා ගැනීම සහ ඒවා පිළිබඳව රජය දැනුවත් කිරීම නිලධාරින්ගේ වගකීම බවත් එවිට මෙම ගැටලු විසඳීමේදී විශේෂඥ සහාය ලබා ගැනීමට හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. තමා කිසි විටෙකත් කිසිවෙකුට වැරැද්දක් කරන ලෙස නොකියන බව ජනාධිපතිවරයා නිලධාරින්ට අවධාරණය කළේය.

හරිත කෘෂිකර්මාන්තය හඳුන්වා දීමෙන් වගා බිම් අඩු වීමට හේතු විය නොහැක. කාබනික පොහොර භාවිතයෙන් ඉදිරියට යාමට ගොවීන් දිරිමත් කිරීම රට වෙනුවෙන් සැමගේ වගකීම බව ද ජනාධිපතිවරයා පැවසීය.

ලොව පිළිගත් පරිසර හිතකාමී පොහොර ගොවීන්ට ලබා දීම සඳහා නයිට්‍රජන් පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් දියර නයිට්‍රජන් ආනයනය කිරීමට රජය පියවර ගත්තා. නැනෝ තාක්‍ෂණය උපයෝගී කරගනිමින් නිපදවා ඇති මෙම දියර පොහොර වල නයිට්‍රජන් සංයෝග කොළ වලට කෙලින්ම අවශෝෂණය කර ගත හැකිය. අනාගතයේදී සියලුම ගොවීන් සඳහා දියර නයිට්‍රජන් රජය ලබා දෙන බව ජනාධිපතිවරයා පැවසීය.

අස්වැන්න අඩු වීම ගැන ගොවීන් තුළ අනවශ්‍ය බියක් පවතින බවත් නියමිත වේලාවට පොහොර ලබා දීමෙන් හා දැනුවත් කිරීමෙන් ගොවීන් තුළ ඇති මෙම බිය සහ දෙගිඩියාව සමනය කර ගත හැකි බවත් ගොවිජන සේවා නිලධාරීහු පැවසූහ. පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් ගොවීන් විසින් නිෂ්පාදනය කරන කාබනික පොහොර වල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය පහසුකම් පුළුල් කරන ලෙස ද ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

ගොවීන් සඳහා දිරි දීමනා සහ මූලික ගෙවීම් රජය දැන් නිකුත් කරමින් සිටී. ඉදිරි කාලසීමාව සඳහා කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමට සැලසුම් කර ඇතැයි නිලධාරීහු පැවසූහ. මෙම සාකච්ඡාවට ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, කෘෂිකර්ම අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්, දිස්ත්‍රික් සහකාර සහ නියෝජ්‍ය ගොවිජන සේවා කොමසාරිස්වරුන් සහ දිස්ත්‍රික් 08 ක් නියෝජනය කරමින් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *