මුලු රටටම අන්තර්ජාලය දීමට ගොස් සම්පූර්ණයෙන් අසාර්ථක වූ “ගූගල් ලූන්” ව්‍යාපෘතිය.

පසුගිය ආණ්ඩුව සමයේ ලබා දුන් පොරොන්දුවකට අනුව ආරම්භ කළ “ගූගල් ලූන්” ව්‍යපෘතිය මුළු දිවයිනටම අන්තර්ජාල පහසුකම් ලබාදීමේ අරමුණින් විශාල මුදලක් වැයකර තිබූණද එම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්  අසාර්ථක වී ඇති බව  මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) කොප් කමිටුව රැස්වූ අවස්ථාවේ අනාවරණය වී තිබේ.

මෙම කමිටුවේදි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසා සිටියේ, “ICTA ව්‍යාපෘති  සියල්ලක්ම  වගේ  ෆේල්”යනුවෙනි.

එහිදී ගූගල් ලූන් ව්‍යාපෘතියට ගිය වියදම කෙසේද ? යන්න දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්‍යම් ශානක්‍ය මහතා අසා සිටියේය.

“මේ ව්‍යාපෘතිය අනුමැතියක් නැතුව පරීක්ෂණයක් විදියට කරලා. TRC එකෙන් මේකට අවශ්‍ය සංඛ්‍යාත දෙන්න බෑ කියලා. ඊට පස්සේ පරීක්ෂණය එතනින් නවත්වලා,” යනුවෙන් ICTA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහින්ද හේරත් මහතා පිළිතුරු දුන්නේය .

“ව්‍යාපෘතිය නතර වුණාම වෙන මුදලක් වැය වෙලා නැද්ද?“ යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්‍යම් ශානක්‍ය මහතා දෙවන ප්‍රශ්නය අසා සිටියේය.

“ආනයනික භාණ්ඩ නිදහස් කරගන්න ලක්ෂ 18ක් වැය වෙලා. ලක්ෂ 64ක් WIFI LAUNCH එකට වියදම් කරලා,“ යනුවෙන් මෙහිදී ICTA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහින්ද හේරත් මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *