ඇමරිකානු ඩොලර් මිලියන 250ක ටයර් කම්හලක් ලංකාවට.

ලබන ජනවාරි මාසයේදී විවෘත වීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ආයෝජනයක ප්‍රතිඵලයක් ලෙස ඉදිවුණු රිජිඞ් ටයර් කෝපරේෂන් (පුද්.) සමාගම (Rigid Tyre Corporation (Pvt) Ltd) 2021  කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය සතියේදී  නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහි ප්‍රථම අදියරේ ඉදිකිරීම් මේ වනවිට සම්පූර්ණ වී ඇති අතර ඇමරිකානු ඩොලර් මිලියන 100 ක වියදමක් ඒ සදහා සිදුකර ඇත. මෙහි දෙවැනි අදියරේ ඉදිකිරීම් කටයුතු 2022 මාර්තු මාසය වනවිට අවසන් වීමට නියමිත වේ.

මෙම කර්මාන්ත ශාලාවට දේශීය කාර්මික කුසලතාවන් සහ දියුණු යුරෝපීය තාක්ෂණයන් එක්තැන් කරමින් එය අග්නිදිග ආසියාවේ එම වර්ගයේ විශාලතම කර්මාන්ත ශාලාව බවට පත් කිරීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම පූර්ණ හා අතිනවීන තාක්ෂණය හා පහසුකම් සහිත මෙම කර්මාන්තශාලාව මෙරට එම වර්ගයේ ප්‍රථම හා එකම කර්මාන්ත ශාලාව ලෙස සැලකෙන අතර,  මෙම කර්මාන්ත ශාලාව තුළ  මගී මෝටර් රථ සඳහා වන ටයර්ද, මෝටර්සයිකල් ත්‍රිරෝද රථ, ට්‍රක් රථ හා බස් රථ සඳහා වන ටයර්ද, බර වාහන ටයර්ද එලෙසම SUV රථ සඳහා විශේෂ වූ ටයර්ද  (Solid Tyres) නිෂ්පාදනය කිරීමට නියමිත ය.

පුළුල් නිෂ්පාදන ධාරිතාවක් සහිත, අපනයනය ඉලක්ක කරගත් මෙම කර්මාන්තශාලාව රටේ අපනයන ක්ෂේත්‍රය පුළුල් කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වනු ඇත. ගෝලීය වසංගත තත්ත්වයක් හමුවේ දේශීය විනිමය ශක්තිමත් කිරීම සඳහා රජය දරන උත්සාහයට එය මනා ශක්තියක්ද වනු නිසැක ය. එමෙන්ම ලබන ජනවාරි මාසයේදී එහි මෙහෙයුම් කටයුතු පූර්ණ වශයෙන් ආරම්භ වූ විට එමගින් සෘජු හා වක්‍ර රැකියා හා ජීවනෝපාය අවස්ථා දහස් ගණනක් නිර්මාණය වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *