සරසවි දරුවන්ගේ නෙත් පාදන්න ජනාධිපති අරමුදලෙන් සත්කාරයක්

විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීම සඳහා ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ සුබසාධන වැඩසටහනේ දෙවැනි අදියර පසුගිය සෙනසුරාදා (07) රුහුණ විශ්වවිද්‍යාලයේදී සාර්ථකව පැවැත්විණි.
පසුගිය ඔක්තෝබර් 10 වැනි දින පවත්වන ලද මූලික අක්ෂි සායනයකදී පෙනීමේ දුර්වලතා සහිත බවට හඳුනාගන්නා ලද රුහුණු විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 458 දෙනෙකු වෙත මෙම වැඩසටහන යටතේ නොමිලේ ඇස් කණ්ණාඩි පිරිනමන ලදී.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි, දිවයිනේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි මෙම වැඩසටහන දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇති අතර, එහි දෙවැනි අදියර ලෙස රුහුණ විශ්වවිද්‍යාලයේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිණි.
බ්‍රිතාන්‍ය රොටරි සමාජයේ සහ විෂ් පදනමේ දායකත්වය
එක්සත් රාජධානියේ (UK) ස්ට්‍රවුඩ් රොටරි සමාජය (Stroud Rotary Club) සහ විෂ් පදනම (Wish Foundation) එක්ව මෙම වැඩසටහන සඳහා පූර්ණ මූල්‍ය හා තාක්ෂණික අනුග්‍රහය ලබා දී තිබේ.
මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රොෂාන් ගමගේ, ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩල සභික සම්මානිත මහාචාර්ය ජේ. ආර්. පී. ජයකොඩි, රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගුත්තිල ජයසිංහ, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක මහාචාර්ය සරත් වන්නිආරච්චි සහ විෂ් පදනමේ සභාපති මිහිර වික්‍රමආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මීට අමතරව, විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින්, සරසවි සිසු සිසුවියන් සහ අනුග්‍රාහක ආයතනවල නිලධාරීහු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.




