පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් රජය විසින් වැඩි කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කර ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මන්ත්‍රීවරුන්ට රුපියල් 50,000ක, 60,000ක, 100,000ක හෝ වෙනත් කිසිදු මුදලක වැටුප් වැඩිවීමක් ලබාදී නොමැති බව ඔහු අවධාරණය කළේය.
අමාත්‍යවරයා පැවසුවේ මෙම වැටුප් වැඩිවීමක් ලෙස හුවා දක්වමින් ඇති මුදල් වෙනසට හේතුව මන්ත්‍රීවරුන් සහ අනෙකුත් රජයේ නිලධාරීන් සඳහා ලබාදෙන ඉන්ධන දීමනාව ගණනය කිරීමේ ක්‍රමවේදයේ සිදුවූ වෙනසක් බවයි.
මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් සඳහා නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් හිමිවන අතර, ඒ සඳහා ලබාදෙන මුදල් දීමනාව ඉන්ධන මිල අනුව ගණනය කරන බවද ඔහු පැවසීය.
2026 මාර්තු 1 වැනිදා පැවති ඉන්ධන මිල පදනම් කරගෙන එම දීමනාව ගණනය කිරීමට රජය කටයුතු කර ඇති බවත්, මාර්තු සිට ජුනි දක්වා කාලය තුළ සිදුවූ ඉන්ධන මිල ඉහළ යාම් එම ගණනයට ඇතුළත් කර නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එම ගණනය මත නිකුත් කර තිබූ චක්‍රලේඛය ජූලි 1 වැනිදා අවසන් කර ඇති අතර, ඉන් අනතුරුව සෑම මාසයකම පළමු දිනයේ පවතින වෙළෙඳපොළ ඉන්ධන මිල පදනම් කරගෙන ඉන්ධන දීමනාව ගණනය කිරීමට කටයුතු කර ඇති බවද ඔහු පැවසීය.
ඒ අනුව ඉන්ධන මිල ඉහළ යන විට දීමනාව වැඩි විය හැකි අතර, මිල පහළ යන විට දීමනාව අඩු විය හැකි බව නලින්ද ජයතිස්ස මහතා පැහැදිලි කළේය.
මේ වනවිට මන්ත්‍රීවරුන්ගේ ගෙවීම්වල දක්නට ලැබෙන අමතර මුදල වැටුප් වැඩිවීමක් හේතුවෙන් නොව, ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ඉන්ධන දීමනාව වැඩිවීම නිසා සිදුවූවක් බවද ඔහු අවධාරණය කළේය.


