වත්තල හා පෑලියගොඩ ගංවතුර අවදානම අඩු කිරීමට ජපානයෙන් රුපියල් බිලියන 4.56ක ප්‍රදානයක්

කැලණි ගංගා ද්‍රෝණියේ පොම්පාගාරයක් නවීකරණය කිරීම සඳහා ජපාන රජය ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 4.56ක පමණ ප්‍රදානයක් ලබා දීමට එකඟ වී තිබේ. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ වත්තල සහ පෑලියගොඩ ප්‍රදේශවල ගංවතුර අවදානම අඩු කිරීමයි.

මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ, මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රදාන ආධාර ලබා ගැනීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව, යෝජිත පොම්පාගාර නවීකරණ ව්‍යාපෘතිය මඟින් වත්තල සහ පෑලියගොඩ ප්‍රදේශ ආවරණය වන මුදුන් ඇළ උප ද්‍රෝණියේ ගංවතුර අවදානම අවම කිරීමට අපේක්ෂා කෙරේ.

ජපාන රජයේ මූල්‍ය ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව, අදාළ ප්‍රදානය ලබා ගැනීම සඳහා ජපාන රජය සමඟ හුවමාරු සටහන් ගිවිසුමට (Exchange of Notes) අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

එමෙන්ම, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සමඟ ප්‍රදාන ගිවිසුමකට එළඹීමට ද අනුමැතිය හිමිව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *