වජිර අබේවර්ධන

වජිර අබේවර්ධන මට කෝල්ස් 31ක් දුන්නා කරුණු යට ගහන්න…දූෂණ සෙවීමේ කොමිසමේ හිටපු ලේකම්

ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක, ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පසුගියදා (ඔක්තෝම්බර් 09) මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරතවිණි.

එහිදී සේනානායක මහතා සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමියන් බැහැදුටුවේය. එතුමන් මහනාහිමියන් හමුව පැවසුවේ මෙවන් අදහසකි.

“අපට විදුලි බුබුල තමයි ලැබුන සංඛේතය, අඳුරේ තිබෙන රටට කීර්තියක් ලබා දෙන්න. මේ ව්‍යාපාරය තුළින් පෞද්ගලිකව ලබා ගන්න දෙයක් නෑ. එහෙම බැලුවොත් පෞද්ගලිකව තවදුරටත් නැති වෙනවා. මේ රට සිංහල බෞද්ධ රටක්. ඒ සාරධර්ම අපි රැකිය යුතුයි, ඒ සංස්කෘතිය අපි රැකිය යුතුයි. ඒ සඳහා තමයි අද ඔබ වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්න ආවේ.”

එවැනි සමාන අදහස් සහිත තවත් පක්ෂ තිබෙන නිසා ඒ පිරිස මීට සම්බන්ධ කර ගැනීමට අපේක්ශාවක් නැතිද යන වග මහා නාහිමියන් සේනානායක මහතාගෙන් විමසූ අතර, මේ එතුමන් ඊට ලබා දුන් පිළිතුරයි;

“ඒ අය අපිත් එක්ක එකතු වෙනවා. නමුත් හත්වෙනිදා නාම යෝජනා දීමයි නොවැම්බර් දාසය වෙනිදා ඡන්දයයි අතර වෙනසක් තියනවා. අපට තව දවස් තිස් ගානක් තියනවා, සාකච්ඡා සාර්ථක කරගන්න”

සේනානායක මහතාට සහය පල කරන, රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ-හිටපු ලේකම්, ලැසිල් ද සිල්වා මහතා ද එහිදී තම අදහස මෙසේ එක් කළේය.

“මේගොල්ලෝ හොරු අල්ලන්න ආවට මේගොල්ලන්ට හොරු අල්ලන්න බෑ. මොකද හොරුන්ට හොරු අල්ලන්න බෑ. අපි බලාපොරොත්තු වෙන්නේ මේ තුළ සියලුම දේවල් නිසි මාර්ගයට ගන්නයි”

අනතුරුව, ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක, අති පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම මහා නාහිමියන් බැහැදුටුවේය.

පසුව, දළදා මාලිගයට පැමිණි සේනානායක මහතා,  ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක, අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නාහිමියන් ද බැහැදුටුවේය.

එම සංචාරයෙන් අනතුරුව එතුමන් මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වීය.

“සිවිල් සංවිධාන තිහකට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට මා වටා රොක් වී තියනවා. පැහැදිලිවම මේ රට ඉතාමත් කෙටි කාලයකදී  වෙනස් කරන ආකාරය පිළිබඳව අපි මේ වෙනකොට පිඹුරුපත් සකස් කරලා අවසන්. මෙය ඉදිරියට ගෙන යමින් ලබන වසරේ පැවැත්වෙන මහා ඡන්දයෙදීත් මේ කණ්ඩායම් ඉදිරිපත් කරවන්න බලාපොරොත්තු වෙනවා. අපි තවමත් විකල්ප කණ්ඩායම් සමග සාකච්ඡා කරමින් සිටිනවා, කොහොමද එකතුවෙලා මේ ගමන යන්නේ කියලා.”

තවදුරටත් අදහස් දක්වූ සේනානායක මහතා;

“ලෝකේ කිසිම රටකට සීයට සීයක ආරක්ෂාවක් කිසිම ජගතෙකුට සපයන්න බෑ. මොන බුද්ධි අංශ තිබ්බත් එක පිස්සෙක් ඉන්නවා නම් එවැනි දෙයක් කරන්න පුළුවන්. සමස්ථ වශයෙන් ගත්තොත් මේ රටේ ආරක්ෂාව හොඳ තැනක තියනවා.”

පොහොට්ටුවේ අපේක්ෂකයාට තර්ජනයක් වීම සඳහා  ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට එතුමා මෙසේ පිළිතුරු සැපයීය.

“මට එහෙම වුවමනා නම් වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගන්න තිබ්බා. මට ජාතික ආරක්ෂාව කියන එක වැදගත්. මට ඒකට විශේෂ සුදුසුකමක් තියෙන්න පුළුවන්, සමහර විට ඒ සුදුසුකම අනිත් අයට වඩා වැඩියි. මොකද මගේ සේවා කාලය වසර 38ක්. මම යුද්ධය අතහැර ගියපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඒ අතින් බැලුවාම ඔහුට අභියෝගයක් වෙන්න මට පුළුවන්.”

මාධ්‍යවේදියා: ඔබතුමා ප්‍රකාශ කලේ ගෝඨාභය රාජපක්ෂ කියන අපේක්ෂකයා ඔබතුමාට අභියෝගයක් නෙවෙයි කියලද?

ඊට පිළිතුරු දුන් ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා;

“පැහැදිලිවම. මේ වෙනස සිදු කල යුතු බව, ජනතාවගේ යටි හිතේ තියන මතයක්. අපේක්ෂකයා නෙවෙයි මේ රටේ ජනතාව බලන්න ඕන, ඔවුන්ගේ වටපිටාවේ ඉන්න කට්ටිය කවුද කියලා. වසර කීපයකට ඉස්සෙල්ලා ඒගොල්ලෝ මොකද කලේ, අයින් වුනේ ඇයි, මේ ජනතාවම ඔවුන්ව අයින් කලේ ඇයි කියලා. වසර එක හමාරකට ඉස්සෙල්ලා ඔවුන් අරක කැඩුවා මේක කැඩුවා කියලා කියනවා නම්, ඊට පස්සේ කොහොමද වසර එක හමාරකට පස්සේ නැවත හොඳ වෙලා නැවත ඇවිල්ලා කතා කරන්නේ මේ ක්‍රමවේදය වෙනස් කරන්න.”

මෙම මාධ්‍ය හමුවේදී හිටපු විගණකාධිපති-ගාමිණී විජේසිංහ මහතාද තම අදහස් දැක්වීය.

“විශේෂෙන්ම මම විගණකාධිපතිවරයා හැටියට ඉන්න කාලේ මේ හැම පැත්තේම තියන දූෂණ එළියට ගෙනාවා. හැබැයි ඒ කිසිම වාර්ථාවක් අද වෙනකන් පරීක්ෂණයට භාජනය කලේ නෑ. විශේෂෙන්ම මේ අධිකරණ පද්ධතියට නිදහසේ වැඩ කරන්න ඉඩ දුන්නොත් මේ කේසස් ඔක්කොම ඉස්සරහට අරන් එන්න පුළුවන්. ඒ නිසා දූෂණය විශාල වශයෙන් අඩු කරන්න පුළුවන්. ඊළඟට රටේ අභ්‍යන්තර විගණනය සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයා යටතට ගන්න පුළුවන්. නමුත් අද ඒක ජනාධිපතිවරයා අතින් සම්පූර්ණයෙන්ම ගිලිහිලා තියෙන්නේ.”

එම මාධ්‍ය හමුවේදී රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ-හිටපු ලේකම්, ලැසිල් ද සිල්වා මහතා, පවතින රජයේ ක්‍රියා කලාපය පිළිබඳ තීරණාත්මක තොරතුරු රැසක් හෙළි කළේය.

“ඒ සිද්ධිය මම මතකයට ගන්න කැමතියි. ඒ වෙලාවේදී වර්තමාන අගමැතිවරයා කිව්වා අනවශ්‍ය විදිහට මේ රාජ්‍ය සේවකයෝ කොමිෂන් සභා ඉදිරියට ගේනවැයි කියලා. එතුමා කිව්වා යම් කිසි විදිහකින් මේ වැරදිකාරයො ගෙන්නන වැඩපිළිවෙල නවත්වන්න ඕන, නැත්නම් යම්කිසි විදිහකට රාජ්‍ය සේවය කඩා හැලෙයි කියලා.”

මාධ්‍යවේදියා : අවසානයට, කෙටියෙන් කියන්න.  ඔබතුමා කියන්නේ දූෂිත ඇමතිවරුන්ගේ සියලුම වංචා දූෂණ ෆයිල් යට ගහන්න කියලා, මේ පාලකයෝ ඔබතුමාට උපදෙස් දුන්නා කියලද?

“මෙහෙමයි, දෙතුන් දෙනෙක් මට කෝල් කරලත් කිව්වා, මෙහෙම කරන්න එපා කියාලා. මම හංගන්නේ නෑ. හංගලත් නෑ. කොටින්ම මැති ඇමතිවරු කීප දෙනෙක්, වජිර අබේවර්ධන මට කෝල්ස් දුන්නා. කෝල්ස් 31ක් දුන්නා. මම අන්තිමේදී ඒක බ්ලොක් කළා. හේතුව, මේ ආණ්ඩුව බලයට පත් වුනේ හොරු අල්ලනවා කියලා, ඒ නිසා අපේ අවශ්‍යතාව වුනේ හොරු අල්ලන එක. ඒ වගේ ඇමතිවරු ගොඩක් ආවා. හැබැයි මම කිව්වා, මම ගෙදර ගියත් මේක නවත්තන්නේ නෑ කියලා. අවසානෙදි වුනේ, අපි ගෙදර ගියා, එච්චරයි.”

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *