ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට මාරු කිරීමේ තීරණයක් නැහැ

රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකට මාරු නොකිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් සෙනක පල්ලෙතැන්න මහතා සඳහන් කළේ, ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද බන්ධනාගාර රෝහලේදී විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවට ලක් වූ බවයි.

එම පරීක්ෂාවෙන් අනතුරුව, වැඩිදුර විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා ඇය   කොළඹ ජාතික අක්ෂි රෝහල වෙත යොමු කරන ලෙස විශේෂඥ වෛද්‍යවරයා නිර්දේශ කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් පසුගිය බදාදා (07) අත්අඩංගුවට ගනු ලැබුවාය. අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇය ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ළමා රිජ්වේ රෝහල සඳහා සීටී ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමේ අරමුණින් සිරිලිය සවිය සංවිධානය හරහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් (NSB) රුපියල් මිලියන 10ක මුදලක් ලබාගෙන ඇති බවට එල්ල වන චෝදනා මෙම අත්අඩංගුවට ගැනීමට සම්බන්ධය.

කෙසේ වෙතත්, අදාළ සීටී ස්කෑන් යන්ත්‍රය රෝහලට ලබාදී නොමැති බවත්, ඒ සඳහා ලබාගත් මුදල් අවභාවිත කර ඇති බවත් විමර්ශකයෝ චෝදනා කරති.

මහජන මුදල් අවභාවිත කිරීම සම්බන්ධ දූෂණ චෝදනා මෙන්ම මහජන දේපළ පනත යටතේ වන වැරදි සම්බන්ධයෙන්ද ශිරන්ති රාජපක්ෂ මහත්මියට චෝදනා එල්ල වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *