මේ වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව තුළ ඝාතන 435ක් වාර්තා වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන කාලය තුළ මෙම ඝාතන වාර්තා වී ඇති බවයි.
පසුගිය වසරේ (2021) මුළු කාලය තුළම ඝාතන 521ක් පමණක් වාර්තා වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ වසරේ වාර්තා වී ඇති ඝාතනවලින් සැලකිය යුතු ජීවිත සංඛ්‍යාවක් අහිමි වී ඇති බව පවසන කැබිනට් ප්‍රකාශකවරයා, එම ඝාතන පිළිබඳ සාක්ෂි පශ්චාත් මරණ පරීක්ෂණවලින් ලබා ගන්නා බව ද පැවසීය.
මේ අතර පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට අදාළ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් පවතින නීති, ක්‍රියා පටිපාටි සහ භාවිතයන් සඳහා සුදුසු සංශෝධන සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලදී.
එම කමිටුවේ නිර්දේශ අදාළ කර ගැනීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.
ඒ අනුව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද එම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.