’’හොරෙන්ගෙනා වාහන දෙන්න එපා’’ – කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්

රේගුවට හොර රහසේ ආනයනය කර  ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කළේ යැයි කියන අධි සුඛෝපභෝගි වාහන 112ක් පැවරීම හෝ අන්සතු කිරීම වළක්වමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට  නියෝගයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා  නිකුත් කළේය.

රුපියල් කෝටි හතරේ සිට හය දක්වා වටිනාකමින් යුත් මොන්ටෙරෝ ,ලැන්ඩ්කෲසර්,අධි සුඛෝපභෝගී කැබ් සහ නිසාන් වර්ගයේ අධි සුඛෝපභෝගී ද්විත්ව කාර්  රථ ඇතුළු වාහන 112ක් හොර රහසේ ආනයනය කර රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් රජයට කිරීම සම්බන්ධයෙන්  සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බැවින් අදාළ නියෝග නිකුත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කළ ඉල්ලීමක් අනුව මෙම තහනම් නියෝග නිකුත් කෙරිණි.

මෙම සුඛෝපභෝගී රථ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කර ඇතැයිද අල්ලස් කොමිසම කරුණු ඉදිරිපත් කළේය.

කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ 2015 වසරෙ සිට 2022 මෙරටට අධි සුඛෝපභෝගී වාහන 178ක් මෙලෙස හොර රහසේ ආනයනය කර ඇති බවට  අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි ඒකකය කළ විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවය.

සුඛෝපභෝගී වාහනවල වත්මන් ලියාපදිංචි අයිතිකරු නම්කර  වටිනාකම සටහන් දළ ඇස්තමේන්තුවක් සහිතව නඩු පනස් එකක් ගොනුකර කොමිසම ඉදිරිපත් කළ  කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ රථ වෙනත් පාර්ශවයකට පැවරීම වළක්වමින්  නියෝග නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *