හරක් කටාව පන්නන්න ගිය සැලැස්ම ගැන තවත් තොරතුරු

සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළායෑමට තැත්කර තිබුණි.

ඒ සඳහා ඔහුට එහි පොලිස් කොස්තාපල්වරයෙකුගේ ද සහාය ලැබී තිබූ අතර සිද්ධියෙන් පසුව අදාළ කොස්තාපල්වරයා අතුරුදන් විය.

ඔහු පළායන අයුරු දැක්වෙන සීසීටීවී රූප රාමු පෙළක් පළමුවරට අප රට හමුවේ අනාවරණ කළේය.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය.

එහි ප්‍රතිඵලයක් ලෙස අනාවරණය වී තිබුණේ, ‘හරක් කටා’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණීමෙන් පසුව ඔහු රැගෙන යාම සඳහා CBG – 5271 දරන කළු පැහැති වැගන් ආර් රථයක් සූදානම් කර තිබී ඇති බවය.

එම රථය සිද්ධිය වූ දිනයේ අවස්ථා කිහිපයකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසල සැරි සරා ඇති අතර ඊට අදාළ සීසීටීවී දර්ශන පෙළක් ද අනාවරණය විය.

තවදුරටත් සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වී ඇත්තේ, ‘හරක් කටා’ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළායෑමට ආධාර අනුබල දුන් පොලිස් කොස්තාපල්වරයා වන රවිඳු සංදීප ගුණසේකර සිද්ධිය වූ දින පස්වරු 1.55ත් 2.01ත් අතර මෙම මෝටර් රථයටම නැගී පළාගොස් ඇති බවය.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට දිවවිත් ‘සර් බාරොන් ජයතිලක මාවතේ’ ඇති ඔසුසළ අසලට පළමුව ගොස් තිබේ.

අනතුරුව මෙම මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටින් හරවාගෙන එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී අදාළ කොස්තාපල්වරයා එහි නැග පළාගොස් ඇති බවත් විමර්ශනවලදී හෙළි විය.

ඒ අනුව සැකකාර පොලිස් කොස්තාපල්වරයා පළාගිය මෝටර් රථය පාලුහේන, කෝට්ටේගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් කුලී පදනම මත ලබාදෙන මෝටර් රථයක් බව පොලීසිය විසින් සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, පසුව ‘හරක් කටා’ට පළායෑම සඳහා ආධාර අනුබල දුන් ක්‍රිෂාන් පියසාද් නම් සැකකරුවකු හා සංජීව කුමාර හෙවත් පොඩ්ඩා නම් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවය.

ඒ අතරින් ක්‍රිෂාන් පියසාද් නම් පළමු සැකකරු විසින් දෙවන සැකකරුගේ අනුදැනුම මත කෝට්ටේගොඩ ප්‍රදේශයට ගොස් අදාළ මෝටර් රථය, සංජීව කුමාරගේ දැනුම්දීම මත පසුගිය 8 වනදා රාත්‍රි කාලයේදී ලබාගෙන ඇති බව පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

පසුව 9 වනදා නැවත එය දෙවන සැකකරුට කැස්බෑවේදී ලබාදී දෙදෙනාම මෝටර් රථයෙන් මාතරට ගොස් ඇති අතර අනතුරුව දෙවන සැකකරු පමණක් එදිනම ‘මිදිගම රුවන්ගේ’ අනුදැනුම මත කැස්බෑව ප්‍රදේශයට පැමිණ මෝටර් රථය දෙල්කඳ පොළ අසල නවතා දමා ගොස් ඇත.

අනතුරුව වෙනත් පුද්ගලයෙකු විසින් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලට රැගෙනවිත් ‘හරක් කටා’ රැගෙන යෑම සඳහා සූදානමින් සිට ඇති බවට සැක කරන බව පොලීසිය පැවසුවේය.

කෙසේවෙතත් මෙහෙයුම නිසි අයුරින් සාර්ථක කර ගැනීමට නොහැකිවීම මත පොලිස් කොස්තාපල්වරයා පමණක් කඩවත ප්‍රදේශට මෙම මෝටර් රථයෙන් රැගෙන ගොස් ඇති බවටද පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

පසුව එය රැගෙන ගිය පුද්ගලයා විසින් නැවත මෝටර් රථය පසුගිය 10වනදා සවස 5ට පමණ පිළියන්දල පිහිටි උකස් මධ්‍යස්ථානයක් අසල නවතා තිබියදී ‘මිදිගම රුවන්ගේ’ දැනුම්දීම මත දෙවන සැකකරු විසින් ලබාගෙන පළමු සැකකරු වෙත පසුගිය 11 වනදා අළුයම් කාලයේදී මාතරදී ලබාදී ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරුව ‘මිදිගම රුවන්’ නැමැත්තාගේ අනුදැනුම මත දෙවන සැකකරු විසින් මෝටර් රථයේ හිමිකරුට රුපියල් 20,000ක මුදලක් බැංකු ගිණුමකට තැම්පත් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මෙහි පළමු සැකකරු වන ක්‍රිෂාන් පියසාද් නමැත්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ, කැස්බෑව බණ්ඩාරගම පාරේ පිහිටි සතොස ඉදිරිපිටදීය.

ත්‍රීරෝද රථ රියදුරෙකු වන දෙවන සැකකරුව කොළඹ ජාතික රෝහලේ බාහිර අංශය ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී ඇත්තේ, දෙදෙනාම ‘හරක් කටා’ට අයත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පුද්ගලයින් බවය.

එමෙන්ම මෝටර් රථය ලබාදීම වෙනුවෙන් ඔවුන් දෙදෙනාට අලෙවි කරගැනීම සඳහා හෙරොයින් ග්‍රෑම් 5ක් ලබාදී ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

එමෙන්ම ‘හරක් කටා’ රැගෙන යාම සඳහා සූදානම් කර තිබූ මෝටර් රථය විමර්ශන නිලධාරීන් විසින් මාතර කැකුණදුරදී පසුගිය සතියේදී සොයාගෙන තිබුණි.

මේ අතර සැකකරුවන් දෙදෙනාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් අවසර ලබාගනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *