හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලය පොලීසිය විසින් කලඹයි

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද විමර්ශනයකට අනුව ඊයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සාර්ථකව වැටලූ බව පොලීසිය පවසයි.

බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව අදාළ මත්ද්‍රව්‍ය විවිධ ස්ථානවල තබා රැගෙන යන ලෙසට දුරකථනය ඔස්සේ දැනුම්දී එම ජාවාරම සිදුකර තිබේ.

තිහාරිය කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවක් එම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාරිය සතුව තිබූ ජංගම දුරකථන 4ක් සහ ATM කාඩ් 13ක් සොයාගෙන ඇත.

එම ජාවාරමට සහාය දුන් විවිධ පුද්ගලයින්ගේ නම්වලින් බැංකු ගිණුම් පවත්වාගෙන ගොස් සිටි හංවැල්ල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතුව තිබී ATM කාඩ් 8ක් සහ රුපියල් 720,000ක් සොයාගෙන ඇත.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිටි පුද්ගලයින් 5 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මාතර වැවහමද්දුම දී 42 හැවිරිදි පුද්ගලයෙක් හෙරොයින් ග්‍රෑම් 190ක් සමග, මාතර කොටුවදී 27 හැවිරිදි අයෙක් හෙරොයින් ග්‍රෑම් 160ක් සමග සහ වැලිගමදී පුද්ගලයින් තිදෙනෙකු ද හෙරොයින් සමග එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබූ සමස්ථ හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 650කි.

මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන්නේ දැනට ඩුබායි රාජ්‍යයේ සිටින නදුන් චින්තන නොහොත් හරක් කටා නැමැත්තා බවට අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.

ඔහු පොලීසියට අවශ්‍ය කරන, මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන සැපයුම්කරුවෙකු ලෙස හඳුනාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඉමෝ තාක්ෂණය ඔස්සේ අදාළ සැකකරු සහ සැකකාරිය නදුන් චින්තන නොහොත් හරක් කටා නැමැත්තා සමග සම්බන්ධතා පවත්වා ඇති බවද අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *