සිඳී ගිය උඩවලවට වැව් 11 ක ජලය

වියළි කාලගුණයෙන් අහිතකර බලපෑම් එල්ල වී ඇති උඩවලව ගොවිබිම්වල භාවිතය සඳහා වැව් 11 ක ජලය උඩවලව ජලාශය වෙත මුදාහැරීමට පියවර ගත් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

එහි ජල මට්ටම මේ වන විට පවතින්නේ සියයට දෙකක මට්ටමකය.

කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, එම ජලාශය යටතේ යල කන්නයේ අස්වද්දන ලද කුඹුරුවලින් අක්කර 65,000ක් මෙම තත්ත්වය නිසා හානිවීමේ අවදානමට ලක්ව ඇති බවය.

මේ තත්ත්වය හමුවේ සමනල වැව ජලාශයෙන් උඩවලට ජලාශයට යම් ජල ප්‍රමාණයක් නිදහස් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සංවිධාන කළ ගොවි සත්‍යග්‍රහය අද 10 වැනි දිනටත් ක්‍රියාත්මක වුණි.

වලවේ ජල ගැටලුවෙන් පීඩාවට පත් මුරවැසිහේන හා අඟුණුකොලපැලැස්ස ගොවීන් අද දහවල් විරෝධතාවක නියැලුණේ අඟුණුකොලපැලැස්ස නගරයේදී.

ජලය නොමැතිව හානි වූ රන්න කට්ටකඩුව ගොවිබිම් නිරීක්ෂණයට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද පැමිණියේය.

උඩවලවේ ජලාශයේ ජලගැටලුව විසඳාගැනීමට සමනලවැව ජලාශයෙන් ජලය සපයාගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය දැරූ උත්සාහය අසාර්ථක වුණේ එසේ වුවහොත් දිස්ත්‍රික්ක පහකට පැය තුනක දෛනික විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවීම හේතුවෙනි.

උඩවලව ජලාශයට යම් ජල ප්‍රමාණයක් නිදහස් කිරීමට මොනරාගල ගොවි ජනතාව එකඟතාව පළකර ඇත්තේ මෙවැනි පසුබිමකය.

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ මොනරාගල දිස්ත්‍රික්කයේ වැව් 11ක ඇති ජලයෙන් යම් ප්‍රමාණයක් වේලි ඔය අමුණ ඔස්සේ උඩවලව ජලාශයට ලබාගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බවය.

කෙසේ වෙතත් උඩවලවේ ජලාශය යටතේ වගාකර ඇති කුඹුරුවලට ජලය නොලැබුණහොත් වී වගාවෙන් රුපියල් බිලියන 17ක සහ විදුලි උත්පාදනයෙන් රුපියල් බිලියන 1.6ක පාඩුවක් සිදුවෙතැයි මේ වන විට ගණන් බලා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ කෙසෙල් ඇතුළු අනෙකුත් භෝග හානිය නිසා සිදුවිය හැකි සමස්ත අලාභය රුපියල් මිලියන 30,000 ඉක්මවනු ඇති බවය.

කෙසේ වෙතත් සිය දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල මේ කන්නයේ වගාවන්ට ප්‍රමාණවත් ජලය පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ මහත්මිය පවසයි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ද පවසන්නේ මහවැලි කලාපයේ ජලය ගොවිතැන සඳහා කළමනාකරණය කරගත හැකි බවය.

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හමුවේ ගොවිබිම් සඳහා ජලය සැපයෙන වැව් රැසක් සිඳී යමින් පවතියි.

මේ වෙද්දී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලාශවල සක්‍රීය ධාරිතාවය 33% දක්වාත්,  මහවැලි ජලාශවල සක්‍රීය ධාරිතාවය 35% දක්වාත් පහත වැටී තිබේ.

මේ වාතාවරණය තුළ විදුලි උත්පාදනය සඳහා ජලය සපයාගැනෙන ජලාශ පිළිබඳවත් අප අවධානය යොමු කළේය.

ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ විදුලි උත්පාදන ජලාශවල සමස්ත ජල මට්ටමද අද වන විට 36% දක්වා පහළ බැස ඇති බවය.

ඊයේ දිනයේ මෙරට සමස්ත විදුලි අවශ්‍යතාවෙන් ජලය භාවිත කර නිපදවා ඇති ප්‍රතිශතය 15% කි.

61.2 % ක් තාප බලාගාරවලිනුත් , 13.4 % ක් පමණ සූර්ය හා සුළං බලාගාරවලිනුත් , ඉතිරිය ජෛව හා කුඩා බලාගාර වලිනුත් සපයාගෙන තිබේ

ගෝලීය උණුසුම ඉහළ යෑමට හේතු වී ඇති එල් නිනෝ තත්ත්වයෙන් මෙරටට ඇති වූ බලපෑම සහ පවතින වියළි කාලගුණයත් සමග විදුලි උත්පාදනයට යොදා ගන්නා ජලාශවල ජල මට්ටම් ද පහළ වැටී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ, රන්දෙණිගල ජලාශයේ සක්‍රීය ජල ධාරිතාවය 11% ක්, සමනලවැව 14% ක් සහ වික්ටෝරියා 32% ක් ලෙස සටහන් වන බවය.

කාසල්රි ජලාශයේ සක්‍රිය ජල ධාරිතාවය 43% දක්වාත්, මාවුස්සැකැලේ 44% දක්වාත්, කොත්මලේ 66% දක්වාත් පහත වැටී ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

කෙසේ වෙතත් තවමත් විදුලි උත්පාදනය සඳහා ගැටලුකාරී තත්ත්වයක් මේ වනතෙක් උද්ගතව නොමැති බව විදුලිබල මණ්ඩලය පවසයි.

වර්ෂාව නොමැති තත්ත්වයක වුවද විදුලිය නිෂ්පාදනය සඳහා මෙම ජල ප්‍රමාණය මාස දෙක හමාරක පමණ කාලයකට ප්‍රමාණවත් වනු ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

පවතින මෙම වියළි කාලගුණ තත්ත්වයට හේතුවී ඇති ” එල් නිනෝ ” තත්ත්වය යම් තරමකට සමනය කරමින් ඔක්තෝබර් පමණ වන විට වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *