Friday, 13 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

“සෑම පුරවැසියෙකු වෙනුවෙන්ම පෙනී සිටීම මගේ වගකීමයි”: ජනපති අනුර කුමාර

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

සවුදි අරාබියේදී මරණ දණ්ඩනය නියම වී සිට පසුව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණු ශ්‍රී ලාංකික තරුණයා වන අනෝජන් සිවරාසාගේ (Anojan Sivarasa) පවුලේ සාමාජිකයින්, ඔහුව නිදහස් කරගැනීම සඳහා සිදුකළ සෘජු මැදිහත්වීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සිය හෘදයාංගම කෘතඥතාව පළ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය (PMD) සඳහන් කළේ, අනෝජන් සිවරාසාගේ දෙමව්පියන් ඇතුළු පවුලේ සාමාජිකයන් ඊයේ (12) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී පෞද්ගලිකවම සිය ස්තූතිය පුදකළ බවයි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ, ලොව කොතැනක සිටියද සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකු වෙනුවෙන්ම ඕනෑම අවස්ථාවක පෙනී සිටීම රාජ්‍ය නායකයා ලෙස තමන්ගේ පරම වගකීමක් බවයි.

එමෙන්ම අනෝජන්ව නිදහස් කරගැනීම වෙනුවෙන් සහයෝගය ලබාදුන් සවුදි අරාබි රජයට මෙන්ම, ජාති, ආගම් හෝ දේශපාලන භේදයකින් තොරව ඒ සඳහා කැපවූ සියලුම පාර්ශ්වයන් වෙතද ජනාධිපතිවරයා සිය ස්තූතිය පුදකළේය.

සංවේදී හමුව සහ දෙමව්පියන්ගේ කෘතඥතාව

තම පුතු මේ වන විට ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව දෙමව්පියන් විසින් ජනාධිපතිවරයා වෙත දැනුම් දෙනු ලැබීය. මුල සිටම සෘජුව මැදිහත් වෙමින් තම පුතු මරණ දණ්ඩනයෙන් බේරාගෙන සියලු චෝදනාවලින් නිදහස් කරගැනීමට කටයුතු කිරීම පිළිබඳව අනෝජන්ගේ මව ජනාධිපතිවරයාට සංවේදීව ස්තූති කළාය.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, සවුදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් යන මහත්වරුන්ට, තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයට මෙන්ම සවුදියට ගොස් නීති ආධාර සැපයූ නීතිඥවරුන්ට සහ සිය පුතු වෙනුවෙන් හඬනැගූ සියලුම ශ්‍රී ලාංකිකයින්ටද ඇය සිය ගෞරවය පුදකළාය.

පළමු හමුවේදීම ලබාදුන් පොරොන්දුව ඉටුකරමින් මෙම ජීවිතය බේරාගැනීම පිළිබඳව සමාජ ක්‍රියාකාරී රාජ්කුමාර් රජීව්කාන්ත් මහතාද ජනාධිපතිවරයාට ස්තූති කළේය. සවුදියේදී බංග්ලාදේශ යුවළකට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව අනෝජන්ගේ දෙමව්පියන් දැඩි මානසික කම්පනයකින් හා පීඩනයකින් පසුවූ බවද ඔහු මෙහිදී සිහිපත් කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) සභාපති කෝසල වික්‍රමසිංහ මහතාද එක්ව සිටියේය.

ඔබේ අදහස