ෂාෆිගේ සේවය යළි පිහිටුවීම පිළිබඳව තීරණයක් ගෙන නෑ

අනිවාර්ය නිවාඩු ගන්වා ඇති වෛද්‍ය එස්.එස්.එම් ෂාෆි මහතා නැවත සේවයේ පිහිටුවන ලෙස කර ඇති ඉල්ලීම පිළිබඳ මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි.

අදාල කරුණ සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ජාලවල පැතිරයන ප්‍රකාශයන් අසත්‍ය බවත් එම සියලු ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහන් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ අධිකරණය මගින් ඇප පිට මුදාහැර ඇති වෛද්‍ය එස්.එස්.එම් ෂාෆි මහතා නැවත සේවයේ පිහිටුවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති බවයි.

නමුත් වෛද්‍යවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පවත්වා එහි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා ඇති අතර මෙතෙක් එම වාර්තාව ලැබී නොමැති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි.

එම වාර්තාව සහ වෛද්‍ය එස්.එස්.එම් ෂාෆි මහතාගේ ඉල්ලීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සිය නිර්දේශ ඉදිරිපත් කරන තෙක් වෛද්‍යවරයා යළි සේවයේ පිහිටුවිම සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගන්නා බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *