ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ගැටුම උග්‍ර වෙයි

ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සහ සභාග හවුල්කාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP) අතර දේශපාලන ආතතීන් උත්සන්න වී ඇති අතර ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා ශ්‍රීලනිපය වෙනම තරඟ කිරීමට දැනටමත් සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ශ්‍රීලනිපයේ පුරප්පාඩු වූ ආසන සංවිධායක ධුර සහ දිස්ත්‍රික් සංවිධායක ධුර පිරවීම සඳහා මේ වන විටත් සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර පසුගිය සතිය පුරාවටම පක්ෂ මූලස්ථානයේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වුණු බව වාර්තා වේ.

පසුගිය කාලයේ ආණ්ඩුව තම පක්ෂය නොසලකා හරින බවට පක්ෂයේ බොහෝ දෙනා චෝදනා කළ අතර මේ හේතුවෙන් පළාත් පාලන ආයතනවල අයවැයේදී කැමති තීරණයක් ගන්නා ලෙස පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙනවා.

මේ අතර ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කර ගනිමින් මඩ ප්‍රහාර එල්ල කරන බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයෙකු වන කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇතිවූ ගැටුම දෙපාර්ශ්වයේ දේශපාලන විරසකයේ කූටප්‍රාප්තිය බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *