ශ්‍රී ලංකාව තිරසාර සංචාරක ගමනාන්ත ලෙස ආකර්ෂණීය ස්ථාන නවයක් සංවර්ධනය කිරීමට යොමුවෙයි

ශ්‍රී ලංකාවේ පළාත් නවයම තිරසාර සංචාරක ගමනාන්ත ලෙස සංවර්ධනය කිරීම සඳහා සංචාරක ආකර්ෂණ ස්ථාන නවයක් සංචාරක අමාත්‍යාංශය විසින් තෝරාගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ජෛව විවිධත්ව මූල්‍යකරණ මුලපිරීමේ සහයෝගය ඇතිව තෝරාගත් සංචාරක ආකර්ෂණ ස්ථාන සංවර්ධනය කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

සීගිරිය තිරසාර ගමනාන්තය, පිළිකුත්තුව දේශීය උරුම ගමනාන්තය, වනාතවිල්ලුව ගංගේවාඩිය ගමනාන්තය, එල්ලාවල ඇල්ල ස්වභාව ගමනාන්තය, වවුල්පනේ හුණුගල් ගුහා ගමනාන්තය, ඩෙල්ෆ් දූපත, මදුනාගල උණුදිය උල්පත්, පානම ගම්මානය සහ තෝරාගත් ගම්මාන නවය බව අමාත්‍යවරයා අනාවරණය කළේය.

මේ අතර, ප්ලාස්ටික් භාවිතයෙන් තොර පළමු පරිසර හිතකාමී තිරසාර සංචාරක ගමනාන්තය ලෙස සීගිරිය සහ යාල ජාතික වනෝද්‍යාන ප්‍රවර්ධනය කිරීම අමාත්‍යාංශය විසින් මේ වන විටත් ආරම්භ කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යය පිළිබඳ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා තිරසාර ගමනාන්ත සංවර්ධනය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය රණතුංග මහතා පැවසීය.

පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය සංචාරකයින් සඳහා වඩාත් ආකර්ශනීය වී ඇති බවත්, කොවිඩ් වසංගතයෙන් පසු සංචාරක ආයෝජන අනුමත කිරීමේදී මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම තිරසාර ගමනාන්ත සංවර්ධනය කිරීමේ වගකීම මේ වන විටත් අදාළ පළාත් සංචාරක අධිකාරිය වෙත පවරා ඇති බව සඳහන් කළ අමාත්‍ය රණතුංග මහතා ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *