“වෛද්‍ය දියණියට චෝදනා ගොනු කරනවා‘‘ – අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින , ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ දියණියට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරන බවත්,විමර්ශනය සමථයකට පත්කිරීම නොකරන බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම  ප්‍රකාශ කළේය.

අල්ලස් නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් කොමිසමේ ස්ථාවරය අධිකරණයට දැනුම් දෙමින් විමර්ශන නිලධාරීන් කියා සිටියේ සැකකාර හේමාලී විජේරත්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් චෝදනා පත්‍ර ගොනු කිරීමට තවත් කාලය අවශ්‍ය බවය.

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ඇප මත සිටින හේමාලී විජේරත්න සැකකාරිය පසුගිය 05 වෙනි දින විශේෂ මෝසමක් ගොනු කරමින් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේදී කොන්දේසි විරහිතව සමාව ගෙන නඩුව සමථයකට පත් කිරීමට සූදානම් බව ප්‍රකාශය කළාය.

සැකකාරියට අධ්‍යාපනය හැදෑරීම සඳහා විදේශගත වීමට අවශ්‍ය බැවින් විමර්ශන කටයුතුවලට බාධා නොවන පරිදි නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධතාවයක් නොමැති බවද,සැකකාරියගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කළ යුතු බවද දන්වා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *