වෛද්‍යවරු වර්ජනයකට සැරසෙති

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළඹෙන බදාදා (18) දිනයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විධිමත් පැමිණිල්ලකින් තොරව ගෙන ඇති විනය පරීක්ෂණයට එරෙහිව මෙම වර්ජන ක්‍රියාමාර්ගය ගෙන ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.

මීට අමතරව ඊයේ (10) දින සිට සියලුම රෝහල්වල දින 07ක්  කළු කොඩි ප්‍රදර්ශනය කිරීමට ද තීරණය කර ඇති බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා,

“වෛද්‍ය පාලිත රාජපක්ෂට සාධාරණය ඉෂ්ඨ කරන්න අපි කැප වෙනවා. අසාධාරණ විනය පරීක්ෂණය ඉවත් කළ යුතුයි. මේ විනය පරීක්ෂණය ආරම්භ කරලා තියෙන්නේ විදිමත් පැමිණිල්ලකින් තොරව. වෛද්‍ය පාලිත රාජපක්ෂ කතා කළේ මේ රටේ ජනතාව වෙනුවෙන්. ඔහු කිව්වේ ඖෂධ සහ උපකරණ හිඟය නිසා බදුල්ල රෝහලේ සහ ඒ ආශ්‍රිතව රෝහල්වලට ඇතිවෙලා තිබෙන බලපෑම සම්බන්ධයෙන්.” 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *