වසර 05ක් තුළ රට ගොඩගැනීමට හැකියාව තිබෙනවා – ජනපති

ඉදිරි දෙවසර තුළ මෙරට මැණික් කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ සඳහා නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එම වැඩපිළිවෙළ ජාතික ආර්ථිකයට මෙන්ම ක්ෂේත්‍රයේ නියැළි සිටින සියලුදෙනාට සෙත සැලසෙන වැඩපිළිවෙළක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ යටතේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය පුළුල් නවීකරණයකට ලක් කෙරෙන බවද පැවසීය.

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දියුණු කිරීමට නම් බදු සහන ලබාදීම පමණක් ප්‍රමාණවත් නොවන අතර මෙරටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස එය දියුණු කළයුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ චීනකොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමය විසින් සංවිධානය කළ “Gem Sri Lanka 2024” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (11) එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“අප පුරුදුව සිටින්නේ බදු සහන ඉල්ලීමටයි. නමුත් එම සහන සියල්ල ලබාදී අප මෙම ක්ෂේත්‍රයෙන් බිලියනයක්වත් උපයාගෙන නැහැ. ඒ කියන්නේ සහන ලබාදීම අසාර්ථක වී තිබෙනවා. එසේ නම් කළයුතුව තිබෙන්නේ සහන ලබාදෙන අතරම මෙම කර්මාන්තය දියුණු කිරීමයි. මේ කර්මාන්තයේ සිටින සියලුදෙනා ආර්ථික වශයෙන් ශක්තිමත් කළ යුතුයි. ඒ වගේම මැණික් ඔප දැමීමේ නිරතව සිටින පිරිස්වල ද දැනුම වර්ධනය කළයුතුයි.”

“තමන්ගේ සාක්කුවට විතරක් මුදලා දමාගැනීම වෙනුවෙන් බදුවලින් නිදහස් කරන්න කියන යෝජනාවට මම නම් එකඟ නැහැ. මගේ අරමුණ ඊළග වසර දෙක තුළ මෙම කර්මාන්තය විශාල දියුණුවකට ගෙන ඒමයි. විශේෂයෙන් බේරුවල, රත්නපුර ඒ වගේම ලග්ගල යන ප්‍රදේශවල සියලුදෙනාට එහි වාසිය ලැබිය යුතුයි. රටට වගේම ක්ෂේත්‍රයේ සියලුදෙනාට සෙතක් විය යුතුයි.”

“මට අවශ්‍ය මේ වසරේ 2%ක ආර්ථික වර්ධනයක් ඇති කිරීමට. එය කුඩා ප්‍රමාණයක් වුවත් පසුගිය වසරේ මෙරට ආර්ථිකය සෘණ 7%ක් දක්වා කඩා වැටී තිබු බව සිහිපත් කළයුතුයි. නමුත් දැන් අප ක්‍රමයෙන් ඉදිරියට එමින් සිටිනවා. 2025 වසරේදී එම ආර්ථික වර්ධනය ධන 5%ක් දක්වා ඉහළ නංවා ගැනීමට අප අපේක්ෂා කරනවා. ඉන් පසුව 7% – 8%ක ආර්ථික වර්ධනයක් ඉලක්ක කර ගනිමින් අප ඉදිරියට යා යුතුයි. මේ අන්දමින් කටයුතු කළහොත් වසර 05ක් තුළ රට ගොඩගැනීමට හැකියාව තිබෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *