රතු වරෙන්තු ලැබූ තවත් 73ක් ඉදිරියේදී මෙරටට ගෙන්වා ගන්නවා – පොලිස්පති

විදේශ රටවල සැඟව සිටින ප්‍රබල පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතුරින් ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර ඇති 73 දෙනෙකු ඉදිරියේදී මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

නුවරදී   මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ තවත් සියයකට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවය.

එමෙන්ම පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පෙන්වා දුන්නේ මෙරට ක්‍රියාත්මක වන අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීමේ වැඩපිළිවෙලෙහි විනිවිදභාවය සහ ප්‍රගතිය හේතුවෙන් විදෙස් රටවල සහ තානාපති කාර්යාලවල විශේෂ ඇගයීමක් මෙන්ම ඉහළ සහයෝගයක් ඊට හිමිව ඇති බවය.

මෙම මෙහෙයුම් නවත්වන ලෙසට කිසිදු බාහිර බලපෑමක් හෝ තර්ජනයක් එල්ල වී නොමැති බවද, තවදුරටත් වැටලීම් සිදු කරන ලෙසට පමණක් ඉල්ලීම් ලැබෙන බවද පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කළේය.

කෙසේ වෙතත්, මෙම ජාවාරම් සඳහා මුදල් යොදවමින් ආයෝජනය කළ සහ ආධාර උපකාර කළ පිරිස් මේ වන විට දැඩි ලෙස කැළඹීමට පත්ව සිටින බවට නිරීක්ෂණය වන බව ද ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

පොලිස්පතිවරයා මෙහිදී අවධාරණය කළේ ඇතැම් දේශපාලනඥයන් තමන් සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් තමාට කිසිදු බියක් නොමැති බවත්, ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමා සූදානම් බවත් ය.

තමා විසින් කිසිදු සමාජ අසාධාරණයක් හෝ විනාශයක් සිදු කර නොමැති බැවින් විශේෂ ආරක්ෂාවක් නොමැතිව වුවද රටේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට ගමන් කිරීමේ හැකියාව පවතින බවද පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

එමෙන්ම ජනතාව අතරට යාමට නොහැකි තත්වයක් උදාවී ඇත්තේ තමාට නොව සමාජයට බොරු කියමින් විනාශයන් සිදු කළ දේශපාලනඥයන්ට වන බවද පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා,

”තවත් රතු වරෙන්තුකරුවන් 73ක් විතර ගේන්න ඉන්නවා. තවත් සීයකට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා කියලා විශ්වාස කරනවා. ඒ වගේම අපිට හොඳ ජාත්‍යන්තර සහයෝගයක් හම්බෙලා තියෙනවා. ඒත් එක්කම අපි කරන වැඩපිළිවෙලවල්වල විනිවිදභාවය සහ ඒ සම්බන්ධයෙන් අපිට දක්වලා තියෙන ප්‍රගතිය විදේශ තානාපති කාර්යාලවල, රටවල්වල විශේෂ ඇගයීමකට ලක් කරලා තියෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *