රටේ පාලන ක්‍රමය ජනතාවට විහිළුවක් වෙලා – සරත් අමුණුගම

ශ්‍රී ලංකාව ආසියාවේ දුප්පත්ම රට බවට පත්වීමට හේතුවී ඇත්තේ ව්‍යවස්ථාදායක සහ රාජ්‍ය පරිපාලනය දූෂිතයන්ගෙන් සමන්විත වීම බව හිටපු මුදල් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වූ ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ චරිතාපදානය එළිදැක්වීමට ඊයේ පස්වරුවේ එක්වෙමින් හිටපු මුදල් අමාත්‍යවරයා කියා සිටියේ දියාරුවූ ව්‍යවස්ථාදායකයක් තුළ රටේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකි බැවින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක් පිළිබඳ අවධානය යොමු කිරීම ප්‍රශ්න සහගත බවය.

හිටපු ජනාධිපති ලේකම්වරයෙකු සහ ජ්‍යේෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වන ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ ස්වයං චරිතාපදානය එළිදැක්වීම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුකෙරුණි.

“මම ඔස්ටින්” නමින් ඒ මහතා විසින් රචනා කර තිබූ මෙම කෘතිය එළිදැක්වීමේ අවස්ථාව සඳහා මහාසංඝරත්නය ඇතුළු සර්වාගමික නායකයින්, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ආරාධිතයින් රැසක් එක්විය.

හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා,

“මේ තුළින් මා උත්සාහ කළේ ප්‍රකට සහ අප්‍රකට මගේ අත්දැකීම්වලින් කොටසක් බෙදාගැනීමටය.”

මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවේ විද්වත් දේශනය සිදුකරනු ලැබුවේ හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන ආචාර්ය සරත් අමුණුගම මහතා විසිනි.

හිටපු මුදල් අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම මහතා,

“අපි ආසියාවේ දුප්පත්ම අය වුණේ අතිශ්‍යයෙන්ම දූෂිත නිසා. පාර්ලිමේන්තුව, පරිපාලනයේ අය දූෂිතයි. පසුගියදා කළ සමීක්ෂණයකින් 68% කියනවා පාර්ලිමේන්තුවේ ඉන්නේ හොරු කියලා. අද අන්ත දූෂිත අංශ දෙක බවට අධ්‍යාපනය සහ සෞඛ්‍ය පත්වෙලා.”

“මිනිස්සු ස්වේච්චාවෙන් ගිහින් ලේ දන්දුන්නාම… පුද්ගලික අංශයේ යාළුවෙකුට දෙනවා ඒක පැකට් කරලා ආණ්ඩුවට විකුණන්න.” 

“හැමෝම කියනවා ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනේ කියලා. ඒකේ බලපෑම් ගැන කවුරුත් කල්පනා කරලා නැහැ. දියාරු කරපු ව්‍යවස්ථාදායකයක් තුළින් රටේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බැහැ.”

“දවසින් දවස මහජනතාවට පාලනය එපා කරවන ව්‍යුහයක් අපි හදලා තියෙන්නේ. අපි ඒකට පිළියම් යෙදුවේ නැත්නම් මහජනයා ඒකට පිළියම් යොදයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *