මෛත්‍රීපාල තීන්දුව අභියෝගයට ලක් කරන පෙත්සම් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය බදාදා (4) අවසර ලබා දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය (සමානාත්මතාවයේ අයිතිය) ප්‍රකාරව පෙත්සම් ඉදිරියට ගෙන යාමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.

එස් තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම් ලබන වසරේ මැයි මස 6 වැනි දිනට තර්ක කිරීම සඳහා කල් තැබීය. ඥානසාර හිමියන්ට සමාව ලබාදීමට අදාළ ලිපි ලේඛන සති හයක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ජනාධිපති ලේකම්වරයාට නියෝග කරමින් අධිකරණය වැඩිදුරටත් නියෝගයක් නිකුත් කළේය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) සහ අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

ජනාධිපති සමාව ලබාදීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සමාලෝචනය කළ හැකි බවත්, එම බලය ක්‍රියාත්මක කිරීම සාධාරණත්වයේ අවශ්‍යතාවලට යටත් බවත්, මහජන යහපත සඳහා විය යුතු බවත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. ඥානසාර හිමියන්ට සමාව දීමේ ක්‍රියාවලිය රහස්‍යභාවයෙන් වැසී ගොස් ඇති බවත්, එම තීරණය පැහැදිලි කිරීමට හේතුවක් නොමැති බවත් ඔවුන් වැඩිදුරටත් කියා සිටියා. කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ එවැනි උපදේශන ක්‍රියාවලියක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන ලැබී නොමැති බවයි.

අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ නඩුවට අදාළව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගයකදී ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් වසර 6ක සිරදඬුවමක් නියම විය. 2019 මැයි 23 වැනි දින ඥානසාර හිමියන්ට සමාව ලබා දෙමින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිපියක් ලැබීමෙන් පසු ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් විය.

2018 අගෝස්තු මාසයේදී ඥානසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තුළ අපහාසාත්මක ලෙස හැසිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් වසර 19ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් වසර 6ක් තුළ සමගාමීව ගෙවන ලෙසට නියම කරන ලදී.

2016 ජනවාරි 25 වැනි දින හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය තුළදී අපහාසාත්මක ලෙස හැසිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන් වරදකරු බවට තීන්දු කළ අභියාචනාධිකරණ තීන්දුව 2018 ඔක්තෝබර් 5 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරන ලදී.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ විරාන් කොරයා මහතා පෙනී සිටියේය. සන්ධ්‍යා එක්නැළිගොඩ වෙනුවෙන් පුලස්ති හේවාමාන්න සහ හරිනි ජයවර්ධන සමඟ නීතීඥ අස්තික දේවේන්ද්‍ර මහත්මිය පෙනී සිටියාය. නීතිපතිවරයා වෙනුවෙන් ඒඑස්ජී නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය. ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිඥ තිෂ්‍යා වේරගොඩ සහ සංජය මාරඹේ, ඉරේෂ් සෙනෙවිරත්න යන මහත්වරු පෙනී සිටියහ. ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්‌තාපා මහතා සහ නීතිඥ පුලස්‌ති රූපසිංහ මහත්මිය හිටපු ජනාධිපති සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *