මුලතිව් කෙප්පපිලව්හි අක්කර 6.97ක ඉඩමක් මහජන පරිහරණය සඳහා නිදහස් කෙරේ

මුලතිව් දිස්ත්‍රික්කයේ කෙප්පපිලව් ප්‍රදේශයේ ආරක්ෂක හමුදා භාවිත කළ අක්කර 6.97ක පමණ ඉඩමක් මහජන පරිහරණය සඳහා නිදහස් කර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කරයි.

යුද හමුදාව සඳහන් කළේ, එම ඉඩම ශ්‍රී ලංකා යුද හමුදාවේ 59 වැනි සේනාංකයේ නිලධාරීන් විසින් බදාදා (21) මාරිටයිම්පට්ටු ප්‍රාදේශීය ලේකම්වරයා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබූ බවයි.

මුලතිව් දිස්ත්‍රික් ලේකම් හා දිසාපති ඒ. උමාමහේෂ්වරන් මහතාගේ සහභාගිත්වයෙන් මෙම ඉඩම භාරදීම සිදු කෙරිණි.

ජාතික ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය වන ඉඩම් හැර, ආරක්ෂක හමුදා භාවිතයේ පවතින අනෙකුත් ඉඩම් ක්‍රමානුකූලව නිදහස් කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව මෙම පියවර ගෙන ඇති බව යුද හමුදාව සඳහන් කළේය.

එම ප්‍රතිපත්තියේ අරමුණ වන්නේ අදාළ ඉඩම් ඒවායේ නියම හිමිකරුවන් වෙත යළි පවරා දීම සහ මහජන පරිහරණය සඳහා ලබාදීමයි.

මේ අතර, ඉඩම නිදහස් කිරීමේ කටයුතු සඳහා සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයා ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද හමුදාව, 59 වැනි සේනාංකයේ සේනාංකාධිපතිවරයා, ආරක්ෂක අංශ සහ අදාළ රාජ්‍ය නිලධාරීන් වෙත සිය ස්තුතිය පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *