මුජුබුර්ට දිවුරුම් දෙන්න පුළුවන්දැයි නීති තත්ත්වය විමසයි

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස කොළඹ නගර සභා අපේක්ෂක ලැයිස්තුවේ තවමත් සිටින මුජුබුර්  රහුමාන් මහතාට පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමේ හැකියාවක් තිබේදැයි නීතිමය තත්ත්වය විමසීමට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ධුරය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් අහෝසි වූ පසු එම පුරප්පාඩුවට මුජුබුර්  රහුමාන් මහතා පත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කළේය.

පළාත් පාලන මැතිවරණ අපේක්ෂක ලැයිස්තු තවමත් අහෝසි කර නොමැති හෙයින් මුජුබුර්  රහුමාන් මහතාට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් කථානායකවරයාගෙන් විමසීමටද ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.

පසු පෙළ මන්ත්‍රීවරුන් වෙනුවෙන් මධුර විතානගේ හා ප්‍රේමනාත් සී දොළවත්ත යන මන්ත්‍රීවරුන් අදාල කාරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද කරුණු දක්වා ඇත.

පළාත් පාලන අපේක්ෂක ලැයිස්තුව ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක යම් පුද්ගලයකුට හිතුමතයේ මෙලෙස ඉල්ලා අස්වීමට නීති ප්‍රතිපාදන නැතැයි ඔවුන් විශ්වාස කරන බවත් කළ යුතුව ඇත්තේ මැතිවරණ කොමිසම විසින් නාම යෝජනා ලැයිස්තුවම අවලංගු කිරීම බවත් ආණ්ඩු පක්ෂ පසු පෙළ මන්ත්‍රීවරුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

පළාත් පාලන අපේක්ෂක ලැයිස්තුවේ සිටිය දී මීට පෙර කවුරුන් හෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක දිවුරුම් දී තිබේද? එවැනි තත්ත්වයක් යටතේ අදාල පළාත් පාලන නාමයෝජනා ලැයිස්තුවේ සිටින සෙසු අයගේ නාම යෝජනාවලට සිදුවන්නේ කුමක්ද? ආදී තාක්ෂණික ගැටලු විසඳා දෙන ලෙසත් නැතිනම් එය වැරදි පූර්වාදර්ශයක් විය හැකි බවත් ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් කථානායකවරයාගෙන් විමසීමට තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *