පෞද්ගලික අංශයේ සේවකයන්ට මාසික දුම්රිය වාර ප්‍රවේශපත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබාගැනීමේ පහසුකම ඔක්තෝබර් 1 වැනිදා සිට හඳුන්වා දීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මේ සඳහා දුම්රිය ආසන වෙන්කිරීමේ නිල වෙබ් අඩවිය භාවිත කිරීමට හැකි අතර, මෙතෙක් රාජ්‍ය අංශයේ සේවකයන්ට පමණක් ලබාදී තිබූ මෙම පහසුකම පෞද්ගලික අංශයේ සේවකයන් සඳහාද පුළුල් කර තිබේ.
ඒ අනුව දුම්රිය සේවා භාවිත කරන පෞද්ගලික අංශයේ සේවකයන්ට දුම්රිය ස්ථාන වෙත නැවත නැවත පැමිණීමකින් තොරව මාර්ගගතව වාර ප්‍රවේශපත්‍ර සඳහා අයදුම් කර ඒවා ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.
මෙම පහසුකම පුළුල් කිරීමේ නිල දියත් කිරීමේ උත්සවය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ නෙළුම් ශාලාවේදී පැවැත්වුණු අතර, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ සහභාගිත්වයෙන් එය සිදු කෙරිණි.
පවතින ක්‍රමවේදය යටතේ මාසික වාර ප්‍රවේශපත්‍ර ලබාගැනීමේදී මගීන්ට විවිධ අපහසුතාවලට මුහුණදීමට සිදුව තිබිණි.
එහිදී පළමුව දුම්රිය හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා අයදුම්පතක්, ඡායාරූපයක්, පදිංචිය තහවුරු කිරීමේ ලේඛනයක් සහ ජාතික හැඳුනුම්පතේ පිටපතක් ඉදිරිපත් කිරීමට සිදුවිය.
එමෙන්ම සේවාව ලබාගත හැකි වූයේ දින 10ක කාලයක් තුළ, පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා වූ සීමිත කාලයකදී පමණි.
නව ඩිජිටල් ක්‍රමය යටතේ මගීන්ගේ අනන්‍යතාව සහ පරිශීලක ගිණුම තහවුරු කිරීමෙන් පසු නිවසේ සිටම වාර ප්‍රවේශපත්‍ර සඳහා අයදුම් කර ඒවා ලබාගැනීමට හැකි වේ.
පරිශීලක ගිණුම තහවුරු කිරීමේ කටයුතු ආසන වෙන්කිරීමේ පහසුකම් සහිත ඕනෑම දුම්රිය ස්ථානයකදී සිදුකරගත හැකිය.
මෙම වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ SLT-Mobitel එක්ව ක්‍රියාත්මක කරනු ලබයි.
ආයතන සංග්‍රහයේ XVII පරිච්ඡේදයට අනුව රජයේ සේවකයන් සඳහා සහනදායී දුම්රිය වාර ප්‍රවේශපත්‍ර මාර්ගගතව නිකුත් කිරීමේ ක්‍රමය 2026 ජුනි 9 වැනිදා හඳුන්වා දෙන ලදී.
පෞද්ගලික අංශයේ සේවකයන් සඳහාද මාර්ගගත වාර ප්‍රවේශපත්‍ර පහසුකම පුළුල් කිරීම, දුම්රිය සේවා ඩිජිටල්කරණය කිරීමේ ජාතික වැඩසටහනේ තවත් ඉදිරි පියවරක් බවත්, එමගින් මගීන්ට වඩාත් කාර්යක්ෂම හා පහසු සේවාවක් ලබාදීම අරමුණු කර ඇති බවත් නිලධාරීහු පැවසූහ.
මේ අතර, දුම්රිය ඩිජිටල්කරණ වැඩසටහන යටතේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමන් කරන මගීන් සඳහා ස්මාර්ට් ප්‍රවේශපත්‍ර ක්රමයක්ද හඳුන්වා දී තිබේ.
එය මේ වන විට බේස්ලයින් මාවත, කොටා පාර, කිරුළපන සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානවල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ.
කොළඹ තදාසන්න දුම්රිය විදුලිකරණ ව්‍යාපෘතියද දැනට පවතින මාර්ගගත ක්‍රමය හරහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ පහසුකම් නවීකරණයට දායක වී තිබේ.
මීට අමතරව, මගීන්ගේ කාලය හා වියදම අවම කර දුම්රිය සේවාවේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් RDMNS ජංගම යෙදුම හරහා දුම්රිය පුවත් සහ සජීවී යාවත්කාලීන තොරතුරු ඇතුළු නව ඩිජිටල් සේවා රැසක්ද දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබේ.


