පොලීසියට ගල් ප්‍රහාරයක්

‘යුක්තිය’ මෙහෙයුම අතරතුරදී පොලිස් සැරයන්වරයෙකුගේ හිසට ගල් ප්‍රහාරයක් එල්ලකිරීමේ සිද්ධියක් දෙමටගොඩින් වාර්තා වෙයි.

දෙමටගොඩ ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණය වටලා ඊයේ (27) සිදුකළ මෙහෙයුමක් අතරතුර මෙම සිද්ධිය ඇතිවී තිබුණි.

එහිදී ගල් ප්‍රහාරය එල්ලකර පළායාමට තැත් කළ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු පුද්ගලයන් 53 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව දෙමටගොඩ ‍පොලීසියේ ‍ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා පැවසීය.

තුවාල ලද පොලිස් සැරයන් සමරජීව නම් නිලධාරියා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

සැරයන්වරයාට තුවාල සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන “මාළිගාවත්තේ අසිත” නමැත්තා  සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජීව බෝම්බයක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 11,500 ක් පොලිස් භාරයට ගැනුණි.

දෙමටගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ විවිධ ශ්‍රේණිවලට අයත් නිලධාරීන් සහ නිලධාරිනියන් 42 කුගෙන් සමන්විත පිරිසක් ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණය වැටලීමත් සමගම  සැකකරු එයින් පිටවයෑම තැත්කර තිබුණි.

එහිදී අදාළ සැරයන්වරයා සැකකරුට නැවතීමට කළ සංඥාවට අවනත නොවී ඔහු පළායෑමේදී  සැරයන්වරයා ඔහුව හඹාගොස්  අල්ලාගෙන තිබේ.

එහිදී පොරබැදීමක් සිදුවී ඇති අතර දෙදෙනාම බිම ඇදවැටී සිටි අවස්ථාවේදී සැකකරු සැරයන්වරයාට ගල් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

පුරා පැය 4ක් තිස්සේ සිදු කළ එම මෙහෙයුමේදී ප්‍රධාන පෙළේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකු ඇතුළු සැකකරුවන් 47දෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවද පොලීසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *