පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනාවලින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක නිදොස් කොට නිදහස් කරයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා නිදහස් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කර තිබේ.

ජාතික පොලිස් කොමිසම නිදොස් කොට නිදහස් කිරීම නිල වශයෙන් පොලිස් මූලස්ථානයට ලිඛිතව දැනුම් දුන්නේ පසුගිය වසරේ දෙසැම්බර් 14 වැනිදාය. ඊට අදාළ වාර්තාවේ පිටපත් මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ද යොමු කෙරිණි.

එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන් ලලිත් පතිනායක සහ නිලන්ත ජයවර්ධන (හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා) පාස්කු ප්‍රහාරය වැලැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. .

චෝදනා පත්‍ර නිකුත් කර, ස්ථාන මාරුවීම් ලබාදී, මූලික පරීක්ෂණ ආරම්භ කරද්දී, පරීක්ෂණ අතරමග නතර විය. කෙසේ වෙතත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම මෙම පොලිස් නිලධාරීන්ට ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා දන්වමින් සිය කටයුතු කරගෙන ගියේය.

පසුගිය වසරේ අපේ‍්‍රල් 24 වැනිදා ජනාධිපති කොමිසම පාස්කු ප‍්‍රහාරය වැළැක්වීමේ නොසැලකිලිමත්කම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට යළිත් වරක් චෝදනා එල්ල කළ අතර, ඒ අනුව ත්‍රිපුද්ගල මණ්ඩලයක් විසින් නව පරීක්ෂණයක් පැවැත්වීමට පොළඹවන ලදී.

ජාතික පොලිස් කොමිසමේ ලේකම් තමරා ඩී පෙරේරා කියා සිටියේ සිවිල් නිලධාරීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විමර්ශන සිදුකරන බවයි.

අදාළ වාර්තාවට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා නිදොස් කොට නිදහස් කර ඇත. ඔහු දැනට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරයි.

විමර්ශන අවසන් වූ පසු චෝදනා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අනෙකුත් නිලධාරීන් පිළිබඳ වාර්තාව කමිටුව විසින් ඉදිරිපත් කරන බව ඇය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *