නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡා කරනවා -අගමැති

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අඟහරුවාදා (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ අනෙකුත් ආයතනවල වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ අයවැය විවාදයට එක්වෙමින්.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කරමින් පවතින බවත්, රහසේ සිදුවන කිසිවක් නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කළා අපි දැන් කෙටුම්පතක් හදනවා. එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කර සාකච්ඡා කරන බව මම මතක් කරනවා. ඒ නිසා අපි මේ ගැන රහසේ කිසිම දෙයක් කරන්නේ නැහැ කියන එක මම මතක් කරන්න කැමතියි.”

විවාදය අතරතුර අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ගෝලීය COVID-19 වසංගතය හමුවේ රජය ජනතාව ආරක්ෂා කිරීමට මූලිකත්වය ගත් බවයි.

“අපි ඔබට මතක් කරන්න ඕන රජයක් විදියට අපි ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් ගතයුතු සියලු තීන්දු තීරණ නියමිත වේලාවට අරගෙන තියෙනවා. මා එසේ කියන්නේ එම කටයුතු කළමනාකරණය කිරීමේදී අග්‍රාමාත්‍ය කාර්යාලය ඉටුකළ කාර්ය භාරය සිහිපත් කිරීමටයි.

“කොවිඩ් වසංගතය ආරම්භයේදීම අපේ රජය අත්‍යවශ්‍ය සේවා සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කළා. ජනාධිපති කාර්ය සාධක බළකාය කටයුතු කළේ අගමැති කාර්යාලයේ සිට අපේ අධීක්ෂණය යටතේයි.” අගමැති කාර්යාලය ජනතාවට අත්‍යාවශ්‍ය සේවා සැපයීමට සහ ජනතාවගේ ගැටලු විසඳීමට පැය 24 පුරාම ක්‍රියා කළ බව සිහිපත් කරමින්.

“අපි පක්ෂ නායකයන් සමඟත් අදහස් හුවමාරු කර ගත්තා. අත්‍යාවශ්‍ය සේවා සහ සෞඛ්‍ය පහසුකම් ජනතාවට ලබාදීමට අපි සැමවිටම මැදිහත් වී තිබෙනවා. වෛද්‍යවරුන් සහ ආරක්ෂක අංශ ඔවුන්ගේ රාජකාරිය කළා.”

කොවිඩ් වසංගතය හේතුවෙන් ඇති වූ අවපාතය රටට දැඩි ලෙස බලපා ඇති බව අග්‍රාමාත්‍යවරයා පැවසීය. බොහෝ ව්‍යාපාර කඩා වැටී ඇති අතර ආර්ථිකය යළි ගොඩනැගීමට රජය දැන් සැලසුම් කරමින් සිටී.

“ඒ අනුව මුදල් ඇමැතිවරයා කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් ඇතුළත් අයවැයක් මෙවර ඉදිරිපත් කළා. රටේ ජනතාවගේ ආර්ථික හා සමාජීය දියුණුව අවශ්‍යයි. අපේ බලාපොරොත්තුව මේ දුෂ්කර අවස්ථාවේ ඔවුන්ට දියුණු විය හැකි ආර්ථිකයක් ගොඩනැගීමයි.” ඔහු වැඩිදුරටත් පැවසීය.

විපක්ෂයේ ධනාත්මක අදහස්වලට සවන් දීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍යවරයා පැවසීය. “අපි විපක්ෂයේ ධනාත්මක අදහස්වලට සවන් දෙනවා. මේ වෙලාවේ අපි සාමූහිකව රටේ අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතුයි. මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ජනතාව වෙනුවෙන් ඒ යුතුකම ඉටු කිරීමට හැකියාව තිබෙනවා.”

2022 වසර සඳහා නව ව්‍යාපාර ලියාපදිංචි කරන ව්‍යවසායකයින් සඳහා රජය කිසිදු ලියාපදිංචි ගාස්තුවක් අය නොකරන බවත් නව ව්‍යාපාරික අදහස් සමඟ රටේ ආර්ථික සංවර්ධනය ගොඩනැගීමට අත්වැල් බැඳ ගන්නා ලෙසත් ඒ සඳහා දායක වන ලෙසත් ඒ මහතා අපේ රටේ තරුණ තරුණියන්ට ආරාධනා කළේය. රටට විදේශ විනිමය.

ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරමින් වසර 25කට ආසන්න කාලයක් තිස්සේ නොවිසඳී ඇති ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවට මෙවර අයවැයෙන් විසඳුම් ලබාදීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා පැවසීය. මෙවර අයවැයෙන් අධ්‍යාපනයට වැඩිම මුදලක් වෙන්කර තිබෙනවා.

“අපි මේ සියල්ල කරන්නේ රටේ අනාගතය වෙනුවෙන්. අභියෝග හමුවේ රට ගොඩනැගීමට අප ගන්නා උත්සාහයට ඔබ සැමගේ සහයෝගය ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.” යැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *