නතාෂා අත්අඩංගුවට ගැනීමට විරුද්ධව කතා කළ අය ගැන පරීක්‍ෂණ

මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකාවේ නැගී එන විකට රංගන ශිල්පිනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුද්ගලයින් පස් දෙනෙකුට අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.

නිව්ස් 19 පුවත් සේවයට අනුව බුදුදහමට අපහාස වන අයුරින් ප්‍රකාශ කළ නතාෂා එදිරිසූරියට එරෙහි නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදී මෙම චෝදනා එල්ල වී තිබේ.

සිහල රාවය කැදවුම්කරු ප්‍රභාත් මධුභාෂණ වෙනුවෙන් පෙනී සිටි ඔහුගේ නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීමෙන් පසු පැවති මාධ්‍ය හමුව අධිකරණයට අපහාස කිරීමේ ක්‍රියාවක් බවයි.

මාධ්‍ය සාකච්ඡාවේ ඡායාරූප ඉදිරිපත් කරමින් නීතිඥවරයා ප්‍රකාශ කළේ නතාෂා එදිරිසූරිය සියලු චෝදනාවලින් නිදහස් කරන ලෙස මාධ්‍ය හමුවේදී කළ ඉල්ලීම අධිකරණයට අපහාස කිරීමේ ක්‍රියාවක් ලෙස සලකන බවයි.

මාධ්‍යවේදීන් වන තරිඳු ජයවර්ධන සහ තරිඳු උඩවරගෙදර, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, ක්‍රියාකාරීන් වන විදර්ශන කන්නන්ගර, බිට්‍රෝ ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වා තිබුණි.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතත් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විත්තිකරුවන් පස්දෙනාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *