දුමින්දට

දුමින්ද සිල්වා චෝදනාවකින් නිදහස්

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ චෝදනා වලට වරදකරු කර මරණීය දණ්ඩණය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා හා චමින්ද රවී ජයනාත් ඇතුළු විත්තිකරුවන් සියලු‍දෙනාම එක් චෝදනාවකින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංඛ මහතා ඒ පිළිබඳ විත්තිකරුවන් හට දැනුම් දුන්නා.

අදාළ නඩුවේ 17 වන චෝදනාව වන නීති විරෝධී ටී.56 ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම හා ඒ සඳහා ආධාර අනුබල දීම හා ක්‍රමන්ත්‍රණය  යන චෝදනාවෙන් එලෙස ඔවුන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ බහුතර එකඟතාවයෙන් 2018.ඔක්තෝබර් .11 වැනිදා නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව මහාධිකරණය විසින් ආර්.දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට 2016 සැප්තැම්බර් 08 වැනිදා එකී චෝදනාවට නියම කළ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම බල ශුන්‍ය වන බවත් විත්තිකරුවන් හට විනිසුරුවරයා කරුණු දක්වමින් පැහැදිලි කළා.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන ආර්.දුමින්ද සිල්වා අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර ඔහුගේ රෝග තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් බන්ධනාගාර නිළධාරීන් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

කරුණු සලකා බැලූ විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව විත්තිකාර ආර්.දුමින්ද සිල්වා මහතාට දැනුම් දෙන ලෙස නියම කළා.

කෙසේවෙතත් මරණීය දණ්ඩණය නියම වූ දුමින්ද සිල්වා මහතා සෙසු චෝදනා යටතේ තවදුරටත් බන්ධනාගාරගතව පසුවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *