තරඟ පාවාදෙන්න බලපෑම් කළැයි අත්හිටවූ සිරදඬුවම්

ඉන්දීය රෝයල් පංජාබ් කණ්ඩායමේ කළමනාකාර වරයා ලෙස කටයුතු කරමින් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ෆිල්ම්ස්ටඩ්ට හා නවසීලන්ත ක්‍රීඩක නිල් බෲට මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා ලත් පෙචලෝඩියා ආකාශ් ක්‍රිකට් කළමනාකරුට වසර දහයකට අත්හිටවූ වසර හතරක සිර දඬුවමක් මහනුවර මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය නියම කළාය.

මීට අමතරව අදාල චෝදනා දෙකට රුපියල් මිලියන පහමාර බැගින් රුපියල් මිලියන 11 ක දඩයක්ද නියම කළාය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති “ලෙජන්ට් ට්‍රොපි 2024” ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට විදේශීය ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි චෝදනා කරමින් අධි චෝදනා දෙකක් යටතේ පවරා තිබූ නඩු දෙකක් සලකා බැලීමෙන් පසුව මෙම තීන්දුව නිකුත් කළාය .

2019 අංක 49 දරණ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත ප්‍රකාරව මෙම අධි චෝදනා ගොනු කර තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ උදාර කරුණාතිලක මහතා පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *