ජීවිත බිලිදෙන දේශනවලට සවන්දුන් පිරිසක් සොයාගනී

මිථ්‍යාදෘෂ්ඨික අදහස් සමාජගත කර, දිවි නසාගැනීම ප්‍රවර්ධනය කරන විකෘති මානසිකත්වයක් ඇති කණ්ඩායමක් පිළිබඳ ආන්දෝලනාත්මක පුවතක් වාර්තා වී තිබේ.

ඒ පසුගියදා මාලබේදී සයනයිඩ් හා සමාන විෂ කුඩක් ආහාරයට ගෙන දිවි නසාගත් පවුලේ අවසන් කටයුතුවලට සහභාගී වූ තරුණයකු හා තරුණියක්ද එලෙසම දිවි නසාගෙන ඇතැයි වාර්තාවීමත් සමගය.

මින් පෙර දිවි නසාගත් එම පවුලේ ගෘහමූලිකයා වන  – බුදු දහම විකෘතිකර දේශන සිදුකළ බව කියන පුද්ගලයාගේ දේශනා සඳහා ද ඔවුන් සහභාගී වී ඇති බව පොලීසිය පවසයි.

රුවන් ප්‍රසන්න ගුණරත්න නම් 47 හැවිරිදි පුද්ගලයකු බුදු දහම විකෘති කරමින් ස්ථාන රැසකදී දේශනා පවත්වා තිබුණි.

එම දේශනවලදී ඔහු පවසා තිබුණේ සියදිවි නසාගැනීමෙන් මීළඟ ආත්මයට කඩිනමින් යා හැකි බවය.

අදාළ පුද්ගලයා රසායනාගාරයක සේවය කර ඇති අතර ඔහු ඉන් ඉවත්වී පසුව විවිධ ප්‍රදේශවල දේශනා සිදුකර තිබේ.

එවන් පසුබිමක අදාළ දේශකයා පසුගිය 28 වනදා හෝමාගම පිහිටි කුලී නිවසකදී සයනයිඩ් හා සමාන කුඩක් ආහාරයට ගනිමින් දිවි නසාගෙන තිබුණි.

ඔහුගේ අවසන් කටයුතු සිදුකළ දින එනම් පසුගිය දෙසැම්බර් 30 වනදා ඔහුගේ බිරිඳ අදාළ වර්ගයේම විෂ කුඩක් සිය දරු තිදෙනාද සමඟ පානය කර දිවි නසාගෙන තිබූ බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ මාලබේ පොලීසිය එම අවසන් කටයුතු සඳහා සහභාගී වූ අම්බලන්ගොඩ පදිංචි ප්‍රීති කුමාර නම් 34 හැවිරිදි පුද්ගලයෙකුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි.

එහිදී ඔහු පොලීසියට පවසා තිබුණේ, මියගිය කාන්තාවගේ සැමියාගේ දේශනා සඳහා තමන්ද මීට වසර 4කට පමණ පෙර සහභාගී වූ බැවින් අවමගුල් උත්සවය සඳහා පැමිණි බවය.

ඔහු එම දේශනවලදී සියදිවි නසාගැනීම ප්‍රවර්ධනය කරමින් කතා පැවැත්වූ බවත් එම පුද්ගලයා පොලිස් නිලධාරීන් හමුවේ පවසා තිබේ.

නිවන් මග යෑම සඳහා අදාළ පුද්ගලයා සියදිවි නසාගත්තේ යැයි ඔහු පවසා ඇති බව වාර්තා වෙයි.

එවන් පසුබිමක පොලීසිය හමුවේ ප්‍රකාශයක් ලබාදුන් 34 හැවිරිදි ප්‍රීති කුමාර නම් පුද්ගලයා මහරගම ලැගුම්හලකදී මියගොස් සිටියදී පොලීසිය අද සොයා ගත්තේය.

පොලිසිය පැවසුවේ, ඔහු ඊයේ දහවල් එකයි තිහට පමණ විෂ කුඩක් ආහාරයට ගෙන සියදිවි නසාගෙන ඇතැයි සැක කරන බවය.

අදාළ පුද්ගලයා සියදිවි නසා ගැනීමට පාවිච්චි කරන ලද බවට සැක කෙරෙන විෂ කුඩෙහි ඉතිරි කොටසද කාමරයේ මේසය මත තිබී පොලීසිය සොයාගෙන තිබුණි.

ඔහු බුදු දහම විකෘති කර දේශනා කළ රුවන් ප්‍රසන්න ගුණරත්න නම් 47  හැවිරිදි පුද්ගලයාගේ සමීපතමයෙක් බවද පොලීසිය ප්‍රකාශ කරයි.

මේ අතර සියදිවි නසාගත් අදාළ පුද්ගලයා සමග මාලබේ ප්‍රදේශයේදී සියදිවි නසාගත් එකම පවුලේ මව ඇතුළු දරු තිදෙනාගේ අවමගුලට සහභාගී වූ තවත් 21 හැවිරිදි තරුණියක් ද සියදිවි නසාගෙන තිබුණි.

ඒ යක්කල රාෆල්වත්ත ප්‍රදේශයේ සිය නිවස තුළදීය.

අදාළ තරුණිය රුහුණු විශ්වවිද්‍යාලයට පිවිසීම සඳහා භෞතික විද්‍යා අංශයෙන් සුදුසුකම් ලබා තැනැත්තියකි.

එම තරුණියද බුදු දහම විකෘති කර දේශනා කළ රුවන් ප්‍රසන්න ගුණරත්න නම් පුද්ගලයාගේ දේශනා සඳහා සහභාගී වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

අදාළ සියදිවි නසාගැනීම් සඳහා භාවිත කළ සයනයිඩ් හා සමාන වීෂ කුඩු වර්ගය එකම වර්ගයේ එකක්ද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

මේ අතර අදාළ පුද්ගලයාගේ දේශනා සඳහා සහභාගී වූ පිරිසක් අද පස්වරුවේ මාලබේ පොලීසිය වෙත කැඳවා තිබුණි.

එමෙන්ම ඔහුගේ දේශනා සඳහා සහභාගීවූවන්ට සයනයිඩ් වැනි විෂ කුඩක් ලබාදී තිබෙනවාද යන්න පිළිබඳව ද පොලීසිය විමර්ශන සිදුකරයි.

ඔහු රසායනාගාරය තුළ සේවය කරන සමයේ සයනයිඩ් නිෂ්පාදනය කර ඇතැයි සැක කරන බව පොලීසිය පැවසීය.

අදාළ පුද්ගලයාගේ අනුගාමිකයන් පිළිබඳව ද පොලීසිය සොයාබලමින් විමර්ශන සිදුකරයි.

බුදු දහම විකෘති කරමින් සිදු කරන මෙවන් නොමග යැවීම්වලට නොරැවටී සිටීම මෙන්ම එම හානිකර මතවාද ප්‍රතික්ෂේප කිරීමත් බුද්ධිමත් ජනතාවගේ වගකීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *