ගුරු සේවා මිනිත්තුව සංශෝධනය කළ වහාම උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට පියවර

යෝජිත සංශෝධන අවසන් කළ වහාම අධ්‍යාපනවේදී (B.Ed.) උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමට පියවර ගත හැකි බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

B.Ed. උපාධිධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳීම සඳහා ගුරු සේවා මිනිත්තුවට යෝජිත සංශෝධන පිළිබඳව ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර තිබේ.

මෙම සාකච්ඡාව ඔක්තෝබර් 02 වැනිදා ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේදී පවත්වා ඇත.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අදාළ තීන්දු සැලකිල්ලට ගනිමින් ගුරු සේවා මිනිත්තුවට යෝජිත සංශෝධන සකස් කිරීමට නියමිතය.

එම සංශෝධන සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවද සාකච්ඡාවේදී ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තිබේ.

අදාළ සංශෝධන අවසන් කිරීමෙන් පසු බලපෑමට ලක්ව සිටින B.Ed. උපාධිධාරීන් බඳවා ගැනීමේ කටයුතු ඉදිරියට ගෙන යා හැකි බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

මේ අතර, ගුරු පුහුණුව ශක්තිමත් කිරීම, අධ්‍යාපන විද්‍යාපීඨ සංවර්ධනය කිරීම සහ ගුරු හා විදුහල්පති සේවා ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවා 6ක වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීම අරමුණු කරගනිමින් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සභාවක් ස්ථාපිත කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳවද අග්‍රාමාත්‍යවරිය නියෝජිතයන් දැනුවත් කර තිබේ.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා, ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන් සහ අමාත්‍යාංශ නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *