LK reports news sinhala

කාලගුණය දරුණු වෙයි : නුවරඑළියට නාය යෑම් අවදානමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ සහ නුවරඑළිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ කඳු බෑවුම් හා ඒ ආශ්‍රිත ප්‍රදේශ සඳහා මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

අද පෙරවරු 08.30 සිට දහවල් 12.30 දක්වා පැය 4 ක කාලය තුළ මිලිමීටර් 110 ක් වූ වැඩිම වර්ෂාපතනය රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ හා නුවරඑළිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගතවූ පැය 24 ක කාලය තුළ මිලිමීටර් 75 කට වැඩි  වර්ෂාපතනයක් ඇද හැළී ඇතැයි වාර්තාවේ. මේ හේතුවෙන් එම ප්‍රදේශවල නාය යෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරලීම්, ගිලා බැසීම් හා පස් වැටීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ යන පළාත්වලට ඉදිරි කාලය තුළ ද තද වැසි අපේක්ෂා කරන අතර ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ඉක්මවූ වැසි අපේක්ෂා කළ හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංඟා කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවත් කැලණි, ගිං සහ කළු යන ගංගාවල ජල මට්ටම් එසේ ඉහළ ගොස් ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

කැලණි ගඟ දැරණියගල ප්‍රදේශයෙන්, කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන්, ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් අවදානම් තත්ත්වයක් දක්වා ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවත් එම ප්‍රදේශ ආසන්නයේ ජනතාවට විමසිලිමත්වන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *