ඖෂධ නියාමන අධිකාරියේ අක්‍රමිකතා – රවී කුමුදේශ් ගෙන් ප්‍රකාශයක්

ඖෂධ නියාමන අධිකාරියේ සිදු වූ අක්‍රමිකතා හෙළි වන ප්‍රධානතම කරුණ වන්නේ, එහි දත්ත ගබඩාව මකා දැමීම බව සෞඛ්‍ය වෘත්තියවේදීන් ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඔහු පැවසුවේ, දත්ත ගබඩාව මකා දැමීම සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්ව නැවත වතාවක් තනතුරු සඳහා පත් කිරීමට ඇතැම් පාර්ශ්ව කටයුතු කරමින් සිටින බවය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ඖෂධ නියාමන අධිකාරියේ ඇත්ත හොරකම හෙළි වෙන පළමු වැනි තැන තමයි මේ දත්ත මකපු තැන. රජයේ අවධානය යොමු වෙලා තියෙනවාලු ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයාව අයින් කරන්න. සභාපති ඉවත් කරන්න. ඒ ගොල්ලන් ව අයින් කරලා දත්ත සොරකම සම්බන්ධයෙන් ඒ කාලයේ වගකිව යුතු පාර්ශ්ව නැවත වතාවක් මේකේ බලයට පත්කිරීමට. එකත් කුමන්ත්‍රණයක්. අපි විශ්වාස කරනවා ඒගොල්ලෝ ආය එන්නේ මේ නඩුවට කලින් මේ නඩුවේ තියෙන කතාන්දරය යටපත් කරන්න.”

මේ අතර, සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී.මැදිවත්ත පැවසුවේ, රසායනික ද්‍රව්‍යයක පවතින හිඟයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක ශල්‍යකර්ම සීමාකිරීමට සිදුව ඇති බවය.

“මේ මොහොත වන විට ලංකාවේ  ජාතික රෝහල තුළ සහ අනෙකුත් සියලු රෝහල්වලට අවශ්‍ය විශේෂයෙන්ම ශල්‍යාගාරවලට අවශ්‍ය ශල්‍ය උපකණ සහ විෂ බීජ විනශ කරන්න අවශ්‍ය පැරිසිටික් අසිඩ් රෝහල් පද්ධතිය තුළ බරපතළ ලෙස හිඟයකට ලක් වෙලා තියෙනවා. ජාතික රෝහලේ එන්ඩස්කොපි පරීක්ෂණ සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙනවා. මේ නිසා ශල්‍යකර්ම සීමා කරන්න වෙලා තියෙනවා” 

මෙවන් පසුබිමක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ ඖෂධ ගැටලුව විසඳීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *