එස්.අයි.මස්සිනා විනිසුරුට පහරදීලා

දකුණු පළාතේ අධිකරණයක දිසා විනිසුරුවරයකු  උප පොලිස් පරීක්ෂක මස්සිනා ගේ නිවෙසට සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් නෑගම් ගිය අවස්ථාවක දෙමස්සිනාලා අතර ඇතිවී යැයි කියන ආරවුලක දී දිසා විනිසුරුවරයාගේ බිරිඳ කම්පනයට පත්ව රෝගාතුරුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි අක්මීමන පොලිසිය සඳහන් කරයි.

මෙම විනිසුරුවරයා විවාහ වී ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ සහෝදරියක සමගය.

උප පොලිස් පරීක්ෂකවරයා බස්නාහිර පළාතේ පොලිසියක රාජකාරි කරන්නකු  බවත් පොලිසිය කියයි.‍

දිසා විනිසුරුවරයා බිරිඳ සමග සිංහල අලුත් අවුරුද්ද උදාවූ ඉකුත් දහතුන් වැනිදා මස්සිනාගේ නිවෙසට  සුරතලයට ඇති කරන බළලා ද රැගෙන නෑගම් ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පසු දින එනම් 14 වැනිදා රාත්‍රි කාලයේ විනිසුරුවරයා සහ බිරිඳ යළි නිවෙසට යාමට සූදානම් වූ අවස්ථාවේ ඔවුන් රැගෙන ආ සුරතල් බළලා නිවසේ සිට නොමැති අතර

මේ සම්බන්ධයෙන් දෙමස්සිනාලා අතර බහින් බස්වීමක් සිදුවී  ඇතැයි කියති.

මේ අවස්ථාවේ උප පොලිස් පරීක්ෂක මස්සිනා පරුෂ වචනයෙන් බැණ වැදී තර්ජනය කර කනට පහරක් ගැසූ බව කියමින් විනිසුරු මස්සිනා ඒ මොහොතේම පොලිසියට පැමිණිලි කර ඇතැයි අක්මීමන පොලිසිය සදහන් කරයි.

අක්මීමන පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම නිවෙසට පැමිණ මෙම සිද්ධියට අදාළව විනිසුරුවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටි අතරවාරයේ  විනිසුරුවරයාගේ බිරිඳ (උප පොලිස් පරීක්ෂකවරයාගේ සහෝදරිය)  කම්පන  තත්ත්වයකට පත්ව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

විනිසුරුවරයාට බැණ වැදී තර්ජනය කර කනට පහරක් ගැසුවේයැයි කියන උප පොලිස් පරීක්ෂකවරයා අක්මීමන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු  ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ ඇප මත මුදා හරින ලදැයි පොලිසිය කීය.

මෙම සිද්ධියට මුල්වූ බළලා පසුව විනිසුරුවරයාගේ මෝටර් රථයේ සිටියදී හමුවී යැයි අනාවරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *