එක්දින ක්‍රිකට් වංශකථාවේ මාලිංග සලකුණ

‘ලසිත් මාලිංග’ නම ඇසූ සැණින් ලොව ප්‍රබල පිතිකරුවන් පවා චකිතයට පත්වන බව නොඅනුමානය. යෝකර් කිං, මාලි ආදී විවිධ අන්වර්ථ නම්වලින් ලොව පුරා බොහෝ පිරිසක් ඔහු හඳුන්වන්නේ ඔහු සතු සුවිශේෂී දක්ෂතාවය නිසාය.

2007 ලෝක කුසලාන තරගාවලිය ලසිත් මාලිංග ගේ නමින්ම ලීවාට වරදක් නැත. බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති එම තරගාවලියේ ජනප්‍රියම ක්‍රීඩකයා ඔහුය. බටහිර ඉන්දීය කොදෙව් ජාතිකයන් මෙන්ම ලොව පුරා ක්‍රිකට් රසිකයන් ලසිත් මාලිංග උන්මාදයෙන් පෙළෙන්නට පටන් ගත්තේ එතැන් සිටය. වි‍ශේෂයෙන්ම එම තරගාවලියේ අනුශූරයන් වූ ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයේ දී පිට පිට කඩුලු 4ක් බිඳ දමමින් එක්දින තරග ඉතිහා‍සයේ සිය නාමය රන් අකුරින් සනිටුහන් කරන්නට ලසිත් මාලිංග සමත් විය. එම වාර්තාව අදටත් බිඳ හෙළීමට කිසිදු පන්දු යවන්නකුට හැකියාව ලැබී නැත. එමෙන්ම ලෝක එක්දින තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයන් (HATRICK) තෙවතාවක්ම ලබා ඇති එකම ක්‍රීඩකයාද ලසිත් මාලිංගයි.

1983 අගෝස්තු 28 වැනිදා ගාල්ලේ දී උපත ලද ලසිත් මාලිංග මේ වනවිට 35වැනි වියේ පසුවෙයි. 2004 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව එක්දින වරම් හිමිකර ගත් ඔහු එදා මෙදාතුර එක්දින තරග 225කට ක්‍රීඩා කර කඩුලු 335ක් බිඳ හෙළා ඇත. ටෙස්ට් තරග 30කට සහභාගී වී ඇති මාලිංග ‍කඩුලු 101කට හිමිකම් කියයි. 2010 වසරේදී ඔහු ටෙස්ට් ක්‍රීඩාවට සමුදුන්නේ ආබාධ තත්ත්වයන් හේතුවෙනි. එමෙන්ම 20-20 ජාත්‍යන්තර පිටියේ මෙන්ම විවිධ රටවල අන්තර් තරගාවලීන්හිදී ද සුවිශේෂී දස්කම් දැක්වූ ලසිත් මාලිංග මේ වනවිට 20-20 තරග 73කට සහභාගී වී කඩුලු 97ක් බිඳ හෙළා ඇත. ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ සුවිශේෂීතම සලකුණක් වූ ලසිත් මාලිංග එම තරගාවලියේ වඩාත් සාර්ථකම පන්දු යවන්නා බවට පත්ව ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමිනි.

මාලිංග පිතිකරණයේ එතරම් දක්ෂයකු නොවූවද 2010 වසරේදී ඔස්ට්‍රේලියාව සමග පැවැති එක්දින තරගයකදී පරාජය නියත වශයෙන්ම ලියා තිබූ තරගයක් කණපිට හැරවීමට ඇන්ජලෝ මැතිව්ස් සමග 9වැනි කඩුල්ලට එක්කළ සබඳතාවය ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ සදා නොමැකෙන තරගයක් බවට පත් කළේය.

ක්‍රිකට් ලොව ප්‍රබල පිතිකරුවන් යෝකර් පන්දු හමුවේ මෙන්ම බවුන්සර් පන්දු හමුවේ අසරණ කළ මාලිංග අද(260 සහභාගී වන්නේ සිය අවසන් එක්දින තරගයටය. ක්‍රිකට් බලධාරින්ගේ මෙන්ම සිය ක්‍රිකට් කණ්ඩායමේ සගයන්ගේ ද කැපිලි කෙටිලිවලට ලක්වූ මාලිංග ඍජු වාග් විලාශය නිසා නිරන්තර බැනුම් අසන්නෙක් විය. නමුත් 2014 වසරේදී ශ්‍රී ලංකාවට 20-20 ලෝක කුසලානය දිනා දීමේ ප්‍රධාන නියමුවා වූ මාලිංග පන්දුවෙන් ද දස්කම් දක්වමින් සිය නායකත්වයේ කුසලතාවයද මනාව විදහා පෙන්වීය. පසු කලෙක ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය ඔහුට හිමිවුවද සිය සගයන්ගේ සහාය ඔහුට නොලැබීම හේතුවෙන් නායකයකු ලෙස සාර්ථක වීමේ හැකියාව හිමි නොවීය.

ආර්.ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී බංග්ලාදේශය සමග ශ්‍රී ලංකාව අද තරග වදින්නේ ලසිත් මාලිංගට සමුදීමටය. ඒ වෙනුවෙන් දහස් ගණනින් ප්‍රේක්ෂකයින් එහි පැමිණෙනු ඇත. ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ තරගයේ සියලු ප්‍රවේශපත්‍ර අලෙවි වී අවසන් බවයි. ඒ අනුව එදා මෙදාතුර ක්‍රිකට් ලොව හෙල්ලු ඒ අසහාය පන්දු යවන්නා අදින් පසු ශ්‍රි ලංකාව වෙනුවෙන් එක්දින තරගවලදී පන්දු නොයවනු ඇත. ඒ වෙනුවෙන් තවත් ආදේශකයක් සොයා ගැනීමට ශ්‍රි ලංකාවට හැකිවේද යන්න ගැටලුවකි. මක් නිසාද යත් ලෝකයට මෙවැනි විශිෂ්ටයන් බිහිවනුයේ ඉතාමත් කලාතුරකින් වන බැවිනි.

(මූලාශ්‍ර හා ඡායාරූප – cricinfo ඇසුරිනි)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *