Tuesday, 17 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ඉන්දීය සංචාරයේ පළමු දිනයේදීම බ්‍රිතාන්‍ය රාජකීය යුවළගෙන් මුම්බායි හිදී වීදි ක්‍රිකට්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් කුමරිය සිය තෙදින ඉන්දීය සංචාරයේ පළමු දිනය වූ සඳුදා (නොවැම්බර් 16) මුම්බායි නුවර වීදි ක්‍රිකට් තරගයකට එක්වූහ. 2024 වසරේදී පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු වේල්ස් කුමරිය සහභාගී වන ඉහළම පෙළේ විදේශ සංචාරය මෙය ලෙස සැලකේ.

සාම්ප්‍රදායික හිස්වැසුම් පැළඳි සංගීතඥයන් උත්සවශ්‍රීයෙන් බෙර වාදනය කරද්දී, විලියම් සහ කේට් යුවළ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් මෙන්ම ප්‍රදේශයේ දරුවන් එල්ල කළ පන්දු රැකීමට එක්වූහ. ඔවුන් නරඹන්නන් සමඟ සිනාසෙමින් සුහද කතාබහක ද නිරත වනු දක්නට ලැබුණි.

මෙම ක්‍රිකට් තරගය දකුණු මුම්බායි හි පෞරාණික නගර කොටසක් වන බැලාඩ් එස්ටේට් (Ballard Estate) ප්‍රදේශයේ පටු මාවතකදී පැවැත්විණි. මිලියන 13 කට ආසන්න ජනගහනයක් වෙසෙන නමුත් ක්‍රීඩා පිටි ස්වල්පයක් පමණක් පවතින මුම්බායි නගරයේ දිවා රාත්‍රී නොබලා ක්‍රීඩා කරන මෙම වීදි ක්‍රිකට් ක්‍රීඩාව නගරයේ සංස්කෘතිය හා දැඩිව බැඳී පවතී.

Earthshot සම්මාන උළෙල සහ මෝදි හමුව

දිනයේ පසුව, රාජකීය යුවළ ඉන්දියාවේ මූල්‍ය අගනුවර මෙට්‍රෝ දුම්රිය පද්ධතියේ ගමන් කිරීමට නියමිත අතර, එය ආර්ථික වර්ධනයට සහාය වීම සහ පරිසර හිතකාමී ගමනාගමන විකල්ප ප්‍රවර්ධනය කිරීම සඳහා බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව එක්ව කටයුතු කරන ආකාරය සංකේතවත් කරයි. අනතුරුව ඔවුන් අඟහරුවාදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත ‘Earthshot Prize’ සම්මාන උළෙලේ අවසන් වටයට සුදුසුකම් ලැබූවන් හමුවීමට නියමිතය.

2020 වසරේදී බ්‍රිතාන්‍ය කිරුළේ උරුමක්කාර විලියම් කුමරු විසින් ආරම්භ කරන ලද Earthshot ත්‍යාගය මගින් දේශගුණික විපර්යාස සඳහා විසඳුම් සෙවීම අරමුණු කරන අතර, සිය ව්‍යාපෘති පුළුල් කිරීම සඳහා ජයග්‍රාහකයන් පස්දෙනෙකුට පවුම් මිලියනය බැගින් (ඇමරිකානු ඩොලර් මිලියන 1.3 ක්) පිරිනැමේ.

නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමෙන් පසු රාජකීය යුවළ සිය සංචාරය අවසන් කිරීමට නියමිතය.

කේට් කුමරියගේ සෞඛ්‍ය තත්ත්වය

44 හැවිරිදි කේට් කුමරිය හෙළි නොකළ පිළිකා තත්ත්වයක් සඳහා නිවාරණ රසායනික චිකිත්සක ප්‍රතිකාර (Preventative chemotherapy) ලබා ගැනීමෙන් අනතුරුව සිය නිල රාජකාරි කටයුතු සැලකිය යුතු ලෙස අඩු කර තිබුණි.

මේ වන විට රෝගය සුව අතට හැරී ඇති බැවින් ඇය ක්‍රමයෙන් ප්‍රසිද්ධ උත්සව සඳහා සහභාගී වීම වැඩි කර ඇතත්, මීට පෙර විලියම් කුමරුගේ විදෙස් සංචාරවලට එක්ව නොතිබුණි. 2024 වසරෙන් පසු ඇය සහභාගී වූ එකම වැදගත් විදෙස් සංචාරය වූයේ, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ සිය කටයුතුවල කොටසක් ලෙස පසුගිය මැයි මාසයේදී තනිවම ඉතාලියේ කළ දෙදින සංචාරය පමණි.

ඔබේ අදහස