ඇමරිකානු පුරවැසිභාවය ලබාගැනීමේ අරමුණින් එරටට ගොස් දරුවෙකු බිහි කිරීමට සැලසුම් කර ඇති බව කොන්සියුලර් නිලධාරීන් තීරණය කළහොත්, එවැනි පුද්ගලයන්ගේ සංචාරක වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප කරන බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබේ.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත්තේ “Birth Tourism” ලෙස හැඳින්වෙන, දරුවෙකුට ඇමරිකානු පුරවැසිභාවය ලබාදීමේ අරමුණින් ප්‍රධාන වශයෙන් ඇමරිකාවට ගොස් දරුවෙකු බිහිකිරීම, සංචාරක වීසා ලබාගැනීම සඳහා පිළිගත හැකි අරමුණක් නොවන බවයි.
ඇමරිකානු වීසා නීති යටතේ, අයදුම්කරුවෙකු ප්‍රධාන වශයෙන් එවැනි අරමුණකින් ඇමරිකාවට යාමට සැලසුම් කරන බවට විශ්වාස කිරීමට හේතු ඇති අවස්ථාවක, විදේශයන්හි සිටින කොන්සියුලර් නිලධාරීන්ට B කාණ්ඩයේ වීසා අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට සිදුවේ.
මෙම ප්‍රතිපත්තිය B කාණ්ඩයේ සංක්‍රමණික නොවන වීසා නියාමනයට සංශෝධනයක් ලෙස 2020 ජනවාරි මාසයේදී නිල වශයෙන් හඳුන්වා දී තිබේ.
රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ වීසා බලපත්‍රයක් තිබීමෙන් පමණක් ඇමරිකාවට ඇතුළුවීම සහතික නොවන බවයි. අවසානයේදී ඇමරිකාවට ඇතුළුවීමට අවසර දීම සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ඇතුළුවීමේ ස්ථානයේ සිටින ඇමරිකානු රේගු හා දේශසීමා ආරක්ෂක නිලධාරීන් විසිනි.
අවසර ලත් සංචාරක හෝ තාවකාලික සංචාර අරමුණුවලින් බැහැර කටයුතු සඳහා සංචාරක වීසා භාවිත කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු බලධාරීන්ගේ අඛණ්ඩ අවධානය මධ්‍යයේ මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.


