ආගමික දේශකයාගේ තවත් අනුගාමිකයෙක් මරුට

පසුගිය දින කිහිපය තුළ සිදුවු සැකකටයුතු මරණ 7ක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේය.

හෝමාගම ප්‍රදේශයේදී සියදිවි හානිකරගත් ආගම් සම්බන්ධ දේශකයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුගේ අනුගාමිකයින් දෙදෙනෙකු බව කියන තරුණියක් සහ තරුණයෙකු විෂ ශරීරගත වීමෙන් මියගොස් සිටියදී සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ 21 හැවිරිදි තරුණියක් සහ 34 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර ඔවුන් දෙදෙනා කිසියම් විෂක් ශරීරගත කරගෙන මියගොස් ඇති බවට සැක පළ කරන බවය.

තරුණියගේ මළ සිරුර යක්කල ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී සොයාගෙන ඇති අතර අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 34 හැවිරිදි පුද්ගලයාගේ මළ සිරුර ඔහු නවාතැන්ගෙන සිටි මහරගම ප්‍රදේශයේ ලැගුම්හලක තිබී සොයාගෙන තිබේ.

ආගම් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල දේශන පැවැත්වීමේ නිරත වෙමින් සිටි “රුවන් ප්‍රසන්න ගුණරත්න” නැමැත්තා පසුගියදා විෂ වර්ගයක් ශරීරගත කරගැනීමෙන් සියදිවි හානිකරගෙන තිබිණි.

ඉන් අනතුරුව ඔහුගේ බිරිඳ ද දරුවන් තිදෙනා සමග සියදිවි හානිකරගෙන තිබූ බව සඳහන්ය.

මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තාගේ අවසන් කටයුතු සඳහා ද සහභාගී වූ තරුණයෙකු සහ තරුණියක අද මෙලෙස මියගොස් සිටියදී සොයාගෙන ඇති අතර ඔවුන් සියලුදෙනාම මියගොස් ඇත්තේ එකම විෂ වර්ගයක් ශරීරගත කරගැනීමකින් බවට පොලීසිය සැක පළ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *