අමරපුර මහා සංඝ සභාවේ නව මහා ලේඛකාධිකාරී හිමියන් ඇතුළු නිලධාරී හිමිවරුන්ගේ කටයුතු නවතමින් අධිකරණයෙන් වාරණයක්

අමරපුර මහා සංඝ සභාවේ නව මහා ලේඛකාධිකාරී හිමියන් ඇතුළු නිලධාරී හිමිවරුන්ගේ කටයුතු නවතමින් අධිකරණයෙන් වාරණයක්

ඉදිරි වසර පහ සඳහා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී ධුරය ඇතුළු තනතුරු පත්කර ගැනීමට පසුගිය දෙසැම්බර් 20 වෙනිදා කලපළුවාව ගෝතම තපෝවනයේ දී පැවති අමරපුර නියෝජිත සංඝ සභා රැස්වීම අමරපුර මහා නිකායේ ව්‍යවස්ථාව මුළුමණින්ම උල්ලංඝණය කරමින් සිදුකොට ඇති බවටත් එම පත්වූ හිමිවරුන් ඒ ඒ ධුර දැරීම සඳහා තිබියයුතු මූලික සුදුසුකම් පවා නොමැතිව ඒවා සඟවා වංචනික ලෙස පත්ව ඇති බවටත් අධිකරණයට කරුණු වාර්තා කරමින් එකී සංඝ සභාවේ නාහිමිවරුන් විසින් ගොණු කොට තිබූ පැමිණිල්ලක් සළකාබැලූ ගල්කිස්ස දිසා අධිකරණය මගින් පූජ්‍ය බලපිටියේ සීවලී හිමියන්ටත්, පූජ්‍ය මහමෙව්නාවේ මංගල හිමියන්ටත් පූජ්‍ය කණුමුල්දෙනියේ චන්දවිමල මහා නාහිමියන්ටත් සිය ධුර වල තවදුරටත් කටයුතු කිරීම නවතාලමින් වාරණ නියෝග නිකුත් කොට තිබෙනවා.

එම හිමිවරුන් පිළිවෙලින් මහා ලේඛකාධිකාරී, නියෝජ්‍ය ලේඛකාධිකාරී සහ උපසභාපති නිලයන් සඳහා තිබිය යුතු මූලික වස් ප්‍රමාණය පවා නොමැතිව එකී තනතුරු සඳහා ඉදිරිපත් වී ඇති බවත් එම තනතුරු නාමයන් භාවිතා කරමින් විවිධ මාධ්‍ය ප්‍රකාශ පවා සිදු කොට ඇති බවත් වාර්තා වනවා. එම සියළු කරුණු නිවැරදිව සළකා බලා සභාව මෙහෙයවීම උත්තරීතර මහා නාහිමිපාණන් වහන්සේ විසින් සිදු කළ යුතු වුවද උන්වහන්සේ ද එම කටයුතු පැහැර හැර ඇති බවත් හිටපු මහා ලේඛකාධිකාරී නා හිමියන් විසින් සියළු පාර්ශව වෙත යොමු කොට තිබූ එම සංඝ සභාවේ න්‍යාය පත්‍රය පවා ඉවතදමමින් අත්තනෝමතික ලෙස කටයුතු කොට ඇති බවත් එකී නිලවරණය පවා කරුණු සඟවමින් සිදු කොට ඇති බවත් පැමිණිල්ල මගින් වැඩිදුරටත් කරුණු දක්වා තිබෙනවා. රටට ආදර්ශයක් විය යුතු නාහිමිවරුන් නිකායික ව්‍යවස්ථා උල්ලංඝණය කරමින් කටයුතු කිරීම තවදුරටත් නොවිය යුතු කරුණක් බව බොහෝ දෙනාගේ අදහසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *