අඩු ආදායම්ලාභී හා නිපුණතා රහිත පුද්ගලයින්ට රැකියා ලක්ෂයක් ලබාදීමේ සැලසුම් අවසන් අදියරට

නව රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් බහුකාර්ය සංවර්ධන කාර්යසාධන බලකාය සදහා අඩුආදායම්ලාභී සහ නිපුණතාවයක් රහිත අය වෙනුවෙන් රැකියා ලක්ෂයක් ලබාදිමේ වැඩසටහනේ සැලසුම් අවසන් අදියරේ පවතී. ඒ අනුව ජනවාරි 20 වන දිනට පෙර අදාළ බදවා ගැනීමේ ක්‍රමවේදය සහ ඒ සදහා වූ අයදුම්පත් ප්‍රසිද්ධ කිරීමට නියමිතය.

ඉතාමත් දිළිදු මට්ටමින් පසුවන සමෘද්ධි ලාභී පවුල්වල සාමාජිකයින් හා සුදුසුකම් ලබන එහෙත් සමෘද්ධි සහනාධාරය නොලබන පවුල් නගා සිටුවිම බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායේ අරමුණ වේ. එවැනි පවුල් වල ශ්‍රම බලකායට දායක විය හැකි පිරිස හදුනාගෙන සුදුසු ක්ෂේත්‍රයන්හි මාස 06ක පුහුණුවකින් පසු ස්ථිර රැකියා අවස්ථා ලබාදේ. පදිංචි ප්‍රදේශයේම රැකියා අවස්ථාවක නියුක්ත කිරීම විශේෂත්වයකි. කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අඩු අධ්‍යාපනික මට්ටමක් සහිත නුපුහුණු පිරිස් මේ සදහා තෝරා ගැනේ. මුලු දිවයිනම ආවරණය වන පරිදි ප්‍රථම අදියර යටතේ රැකියා අවස්ථා ලක්ෂයක් සම්පාදනය කෙරේ. ඔවුන් මෙහෙයවීම හා කළමණාකරණය සදහා උපාධිධාරීන් හා උසස් අධ්‍යාපනය ලැබූවන්ටද රැකියා අවස්ථා උදාවේ.

සෑම ප්‍රාදේශීය කොට්ඨාසයකටම 300ත් 350ත් අතර පිරිසක් මේ යටතේ බදවා ගැනේ. විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ, අනෙකුත් ආගමික පූජක උතුමෙකු, දිස්ත්‍රික් ලේකම්, ග්‍රාම නිලධාරීන් ඇතුලු ක්ෂේත්‍ර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සුදුසුකම්ලාභීන් තෝරා ගැනේ. තෝරාගැනීමේ නිවැරදිතාව තවදුරටත් තහවුරු කරගැනීමට ආරක්ෂක අංශවල නිපුණතාවයක් සහිත පිරිසක් යෙදවීමටද තීරණය කර තිබේ.

සුදුසුකම්ලාභීන් පාසැල්, රෝහල් සහ රාජ්‍ය ආයතනවල අධ්‍යාපන මට්ටමක් අවශ්‍ය නොවන රැකියා සදහා අනුයුක්ත කෙරේ. වඩු, පෙදරේරු, කෘෂි, ධීවර, වන සංරක්ෂණ වැනි ක්ෂේත්‍ර සදහා සහ ඒ ඒ පළාත්වලට අවැසි වන පරිදි පුහුණුවීම් කොට සේවයේ පිහිටුවීමටද පියවර ගැනේ. ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ත්‍රිවිධ හමුදාවේ අධීක්ෂණය යටතේ බදවාගැනීම් සහ පුහුණුවීම් සිදුකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *