කොරෝනා

අඩු අදායම්ලාභී ජනතාව වෙනුවෙන් ජනපතිගෙන් කඩිනම් සහන රැසක්

අඩු ආදායම්ලාභී ජනතාවට සහන මිලට අත්‍යාවශ්‍ය ආහාර සැපයිමේ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති තුමා තීරණය කර තිබේ. වැඩසටහන යටතේ සෑම හිමිකම්ලාභියෙකුටම ආහාර මිලදි ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් නිකුත්කිරීමටද නියමිත අතර සමෘද්ධිලාභීන්, සමෘද්ධි හිමිකම් නොලබන පුද්ගලයින්, ස්ථිර රැකියාවක් නොමැති හා වැවිල ක්ෂේත්‍රයේ කම්කරුවන්, රැකියා නොමැති පවුල්වල ආභාධිතයින්, වැන්දඹු පවුල්, ස්ථාවර ආදායම් නොමැති වැඩිහිටියන් හා බරපතල රෝගාබාධයන්ගෙන් පෙළෙන්නන් සිටින පවුල් මීට සුදුසුකම් ලබයි.

සීනි, තේ, හාල්, පිටි, පරිප්පු, කඩල, ළූණු, මිරිස්, කරවල, අල හා කිරිපිටි ඇතුලු අත්‍යාවශ්‍ය භාණ්ඩ සහන මිලට ලබාදීමට අපේක්ෂා කෙරෙන අතර සතොස හා සමුපකාර වෙළෙදසැල් ජාලය හා ග්‍රාමීය ප්‍රදේශවලින් තෝරාගත් බලයලත් වෙළෙදසැල් මගින් මෙම ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. තෝරාගනු ලබන අඩු පහසුකම් සහිත ග්‍රාමීය වෙළෙදසැල් සදහා සහන ක්‍රමයට ශීතකරණ ඇතුලු උපකරණ ලබාගැනීමට පහසුකම් සැලසිමටද නියමිතයි. අදාළ වෙළෙදසැල් ජනාකීර්ණ ප්‍රදේශවලත්, අඩුආදායම්ලාභී නිවාස සංකීර්ණ, ග්‍රාමීය පළාත්වල හා වැවිලි ක්ෂේත්‍රය ආවරණය වන පරිදි පිහිටුවීම කෙරෙහි අවධානය යොමුවී ඇති අතර බලයලත් වෙළෙදසැල් තෝරාගැනීමේදී කාන්තා ව්‍යවසායකයින්ට ප්‍රමුඛතාවයක් ලබා දේ. මෙමගින් කුඩාපරිමාණ ව්‍යාපාරිකයන් හා නිෂ්පාදිකයින් නගාසිටුවීමට ජනාධිපතිවරයාගේ අපේක්ෂාවයි. දේශීය නිෂ්පාදකයින්ට මූලිකත්වය දෙමින් ඔවුන් නිපදවන ඇසුරුම්කළ ආහාර, කුළු බඩු, මස්, මාලු, බිත්තර හා අනෙකුත් ගෘහ අවශ්‍යතා අදාළ ව්‍යාපාරිකයින් වෙත අතරමැදියන්ගෙන් බැහැරව සෘජුවම ලබාදීමටත් ව්‍යාපෘතියෙන් පහසුකම් සැළසේ.

මෙම වැඩසටහනට සමගාමීව ග්‍රාමීය වතු සහ නාගරික ප්‍රදේශයන්හි ගෘහ ඒකක එක්ලක්ෂ පනස්දහසක් සදහා පානීය ජලය ලබාදීමටත්, ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමටත් අපේක්ෂා කෙරේ. දිළිදු හා අඩු ආදායම්ලාභීන් ලෙස හදුනාගනු ලබන පුද්ගලයින්ට ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් ප්‍රතිසංසංකරණ කොමිෂන් සභාව සහ බිම් සවිය සමග සම්භන්ධීකරණය කර කෘෂිකර්ම, ව්‍යාපාර සංවර්ධනය සහ නිවාස ව්‍යාපෘති වෙනුවෙන් තිස් අවුරුදු බදු පදනමෙන් ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදීම කෙරෙහි අවධානය යොමුකිරීමටද ජනාධිපතිතුමා තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *