LK reports news sinhala

අගරදගුරුතුමන්ගෙන් දේශපාලකයින්ට රතු එළියක්

මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය ජනතාවට යුක්තිය යුක්තිය ඉටු නොකර එලඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන කිසිදු අපේක්ෂකයකු තමන් මුණ ගැසීමට පැමිණීමෙන් වළකින්නැයි ඉල්ලා සිටින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්වහන්සේ පවසයි.

එමෙන්ම නායකයින් පිට කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න යැයි තමන් කළ දේශනයේදී ජනාධිපති, අගමැති යැයි කියා ප්‍රකාශ නොකළ බවත්  ජනාධිපතිවරයා එය පිළිගත්තේ නම් තමන්ට කළ හැකි දෙයක් නොමැති බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට ස්වාධීන කොමිසන් සභාවක් පත්කර එම ජනතාවට යුක්තිය ඉටු කළ යුතු බවත් ලාබ ප්‍රයෝජන නොතකා අවංකව ජනතාවට සත්‍යය දැනගැනීමට කඩිනමින් කටයුතු  කරන මෙන් නායකත්වයෙන් ඉතා  ඕනෑකමින් නැවත නැවතත් ඉල්ලා සිටින බවත් අගරදගුරු හිමිපාණෝ කියා සිටියහ. බොරැල්ල අගරදගුරු මැදුරේදී මාධ්‍ය හමුවක් පවත්වමින් අගරදගුරුතුමන් මේ බව පැවසීය.

පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූ අයගේ ඥාතීන්, ආබාධිතවූවන් බොහෝ දෙනෙක් කඳුළු සලමින් කියා සිටින්නේ “අනේ අපට වන්දි එපා, සල්ලි එපා, යුක්තිය ඉෂ්ඨ කරන්න. මේ සිදුවූ දේ ගැන සම්පූර්ණ සත්‍යය අපට හෙළි කරන්න” කියා බවත් පැවසූ අගරදගුරුතුමන් මේ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටින අය, අනුග්‍රහය දැක්වූ අය, මුලින් ලද බුද්ධි තොරතුරු හිතාමතා නොසළකා හැරි අය, අත්අඩංගුවට ගෙන නිදහස් කළ සැකකරුවන් කිසිදු දඬුවමක් නොලබා තවම නිදැල්ලේ සැරිසරන බව ද අගරදගුරුතුමන් කියා සිටි අතර මේ ප්‍රහාරය සිදුවීමට පෙර මෙන්ම පසුවද සත්‍යය වසන් කිරීමට විවිධ අය විවිධ ප්‍රයෝග යොදමින් සිටින බවත් සඳහන් කළේය.

මෙවැනි අවස්ථාවක විරුද්ධ පක්ෂයෙන් සහ ආණ්ඩු පක්ෂයෙන් තම තමන්ට ලකුණු දමා ගැනීම සඳහා මෙම සිද්ධිය භාවිතා නොකරන්නැයි ඉල්ලා සිටින බවත් සියලු පක්ෂවල නායකයන් එක සහෝදර පිරිසක් ලෙස ජනාධිපති, අගමැති, විපක්ෂ නායක එකට එකතු වී මෙම සිද්ධියට අදාළ පසුතලය විමර්ශනය කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට එක්සත්ව ක්‍රියාකළ යුතු බව ද උන්වහන්සේ අවධාරණය කළහ.

ඡන්දයක් පැවැත්වීමක් ගැන කතාකරන්නට පෙර මෙම මහා විනාශය පිළිබඳව සැබෑ විමර්ශනයක් සඳහා සියලු බලතල සහිතව අදාල ස්වාධීන කොමිෂන් සභාව පත් කිරීම අත්‍යවශ්‍ය මෙන් ම කඩිනමින් සිදුවිය යුතු කාරණයක් බවත් මේ මොහොතේ අවශ්‍ය මැතිවරණ නොව සත්‍යය බවත් අගරදගුරු හිමිපාණෝ කියා සිටියහ.

“කරුණාකරලා මාව පක්ෂවලට එකතු කරන්න උත්සාහ කරන්න එපා මට පක්ෂයක් නැහැ. අපි ජනතාවගේ පැත්තේ ඉන්නේ. කරුණාකරලා මට පක්ෂ  පාට එලවන්න එපා කියලා මාධ්‍යයෙනුත් ඉල්ලා සිටිනවා” යනුවෙන් ද අගරදගුරු හිමිපාණෝ එහිදී ඉල්ලා සිටියහ.

(උපුටා ගැනීම – ලංකාදීප / Image – Lanka Views)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *