අගමැතිවරයෙක් නැති තායිලන්තය

තායිලන්තයේ නව අගමැතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා සිකුරාදා (04) පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම නැවතත් කල්දමා තිබේ.

ඒ ඊට ඉදිරිපත්වීමට නියමිත පක්ෂ නායකයා සම්බන්ධයෙන් තීරණයක් ලබාදීම අධිකරණය කල්දැමීම හේතුවෙනි.

පසුගිය මැයි මාසයේ පැවති තායිලන්ත මහමැතිවරණයෙන් විශාලතම පක්ෂය බවට පත් වුණේ 41 හැවිරිදි පිටා ලිම්ජරොයෙන්රාත්ගේ නායකත්වයෙන් යුත් නවක දේශපාලන බලවේගයක් වූ ‘මූව් ෆෝවර්ඩ්’ පක්ෂයයි.

එහිදී ඔවුන්ට ආසන 500කින් යුත් මහජන මන්ත්‍රී මණ්ඩලයේ ආසන 151ක් හිමිවු අතර, දෙවැනි තැනට පැමිණි ෂිනවත් ට අයත් පිව් තායි පක්ෂයට ආසන 141ක් හිමිවිය.

මූව් ෆෝවඩ් පක්ෂය සහ පිව් තායි පක්ෂය ඇතුළු පක්ෂ 08ක් එක්කර සෑදු සන්ධානයට ආසන 312ක් හිමිවුවත් ඔවුන්ට ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වුයේ නැත.

ඒ තායිලන්ත හමුදා පාලනය විසින් වෙනස් කළ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ලෙස සැලකෙන්නේ ආසන 250කින් යුත් සෙනේට් මණ්ඩලය ද සමගින් බැවිණි.

මේ නිසා මූව් ෆෝවඩ් පක්ෂයේ නායක පිටා ලිම්ජරොයෙන්රාත් ඒකාබද්ධ පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට හමුදාව පත් කළ සෙනේට් මණ්ඩලය සහ සාම්ප්‍රදායික දේශපාලන බලවේග කටයුතු කළේය.

ඔහු ඒ සඳහා නැවත වරක් ඉදිරිපත් වීම ඉහත නඩු තීන්දුව පමා වීම හේතුවෙන් කල් යමින් තිබේ.

මූව් ෆෝවඩ් පක්ෂ නායකයා රාජකීය අපහාස නීතිය සංශෝධනය කිරීම ඇතුළු විප්ලවකාරී පියවර රැසක් සිය න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම ගැන ඔවුන් පසුවුණේ නොසතුටිනි.

මේ තත්ත්වය මත මූව් ෆෝවඩ් පක්ෂය ඉවතලා අනෙකුත් දේශපාලන පක්ෂ හා එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට පිව් තායි පක්ෂය සැරසෙන බව වාර්තා වෙයි.

එහිදී ඔවුන් තායිලන්තයේ ධනවත් ව්‍යාපාරිකයෙකු වන 60 හැවිරිදි ස්‍රෙතා තව්සින් අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔහුට මූව් ෆෝවඩ් පක්ෂ නායකයාට වඩා සහායක් හමුදාව පත් කළ සෙනේට් මණ්ඩලයෙන්ද ලබාගත හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *