LK reports news sinhala

අකිල නවසීලන්තයේ හරි අඩක් ඉවර කරයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පළමු ටෙස්ට් තරගය අද(14) ආරම්භ විය.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට පැමිණි නවසීලන්ත කණ්ඩායම පළමු දිනයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 203ක් ලබා සිටියේය. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ අකිල ධනංජය දැවී ගිය සියලු කඩුලුවලට හිමිකම් කීමට සමත් විය. නවසීලන්ත ආරම්භක පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබාගත්තද දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 3ක් බිඳ හෙළීමට අකිල ධනංජය සමත් විය. ඒ අතරට නවසීලන්ත නායක කේන් විලියම්සන් ලකුණු නොලබා දැවී ගිය අතර ආරම්භක පිතිකරු ටොම් ලෙතම් ලකුණු 30ක් රැස් කරගැනීමට සමත් විය.

දිවා ආහාරයෙන් පසු සාර්ථක පිතිකරණයක නිරතවූ නවසීලන්තයේ රොස් ටේලර් හා හෙන්රි නිකලස් ලකුණු 100ක සබඳතාවයක් එක් කළ අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හිටුවන විට රොස් ටේලර් නොදැවී ලකුණු 86ක් රැස් කරගැනීමට සමත්ව සිටියේය. පන්දු යැවීමෙන් දස්කම් දැක්වීමට සමත්වූ එකම ශ්‍රී ලංකා පන්දුයවන්නා වූ අකිල ධනංජය පන්දුවාර 22ක් යවා ලකුණු 57කට කඩුලු 5ක් බිඳ හෙළීමට සමත්ව සිටියේය.

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර අද ආරම්භ වූ තරගය ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් වන අතර මෙම තරගාවලිය ජය ගන්නා කණ්ඩායමට ප්‍රසාද ලකුණු ලබා ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉදිරියට යෑමේ හැකියාව ඇත.

(මූලාශ්‍ර හා ඡායාරූප – cricinfo වෙබ් අඩවියෙනි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *