මාචුපිචු (Machu Picchu) යනු සුප්‍රසිද්ධ ඉන්කාවරුන්ගේ ජනාවාස පැවති 15 වන සියවසට අයත් පුරාණ නගරයකි. මෙය පේරූ හි උරුබම්බා (Urubamba) නිම්නයේ අඩි 8000 පමණ උසින් කඳු මුදුනක පිහිටා ඇත.
මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර් 2.430කි. පුරාවිද්‍යාඥයින්ගේ මතය අනුව මාචු පීඩු නගරය නිර්මාණය කර ඇත්තේ 1438 – 1472 කාලයේ ඉන්කා අධිරාජ්‍යයකු වූ පාචාකුටි අධිරාජ්‍යයා වෙනුවෙනි.
එහෙත් ඊට වසර 100 කට පමණ පසු ඇති වූ ස්පාඤ්ඤ ආක්රමණයත් සමග මෙම නගරය අතහැර දමන ලදි. කෙසේ නමුදු නගරය පිළිබඳ ස්පාඤ්ඤයන්ට දැන ගන්නට නොලැබුණු අතර ස්වදේශික වැසියන් පිරිසක් පමණක් මේ පිළිබඳ දැන සිට ඇත. කාලයත් සමග මෙම නගරය මුළුමනින්ම ගස්වලින් වැසී ගොස් තිබුණි. 1911 ජූලි මාසයේදී යේල් විශ්වවිද්‍යාලයේ ඇමරිකා ඉතිහාසඥයකු වූ Hiram Bingham විසින් මෙම සැඟවී ගිය නගරය නැවත සොයා ගැනීමත් සමග Machu Picchu පිළිබඳ අභිරහස ලොවට හෙළිවිය. Machu Picchu නගරය 1983 දී යුනෙස්කෝව විසින් ලෝක උරුම ප්‍රදේශයක් ලෙස නම් කරන ලද අතර පසුව 2007 වසරේදී මෙය ලොව පුදුම හතට අයත් එකක් ලෙස නම් කෙරිණි. Bingham ගේ සොයාගැනීම 1913 අප්‍රේල් මසදී National Geographic සඟරාවේ පළ කිරීමත් සමග මේ පිළිබඳ ලෝවැසියන්ගේ සුවිශේෂී අවධානය යොමු විය.
Machu Picchu නගරය සාම්ප්‍රදායික ඉන්කා නිර්මාණ ලෙස ,මදින ලද කළුගල් බිත්ති වලින් නිමවා ඇත. Inti Watana, Temple of the Sun සහ Room of the Three Windows යනු මෙහි පිහිටා ඇති ලෝක ප්‍රසිද්ධ නිර්මාණ 3 කි. මේවා පුරාණ ඉන්කා හිරු දෙවියෙකු (incan sun god) වූ inti උදෙසා කරන ලද නිර්මාණ ලෙස සැලකේ. මේවා 20වැනි සියවසේ ලොව විශිෂ්ටතම පුරාවිද්‍යාත්මක සොයා ගැනීම විය.
පසුගිය ශත වර්ෂය වනතුරු මාචු පීචු ඉන්කාවරුන් හා දේශිය පදිංචිකරුවන් විසින් අත්හැර දමන ලද අප්රසිද්ධව පැවති ස්ථානයක් විය. මිටියාවතේ පහළ සිට ළංවිය නොහැකි සහ අදෘශ්‍යමාන ස්ථානයක් ලෙස මාචු පීචු තිබී ඇත. ඉන්කාවරු විසින් අත්හැර දමන ලද ශත වර්ෂ තුනක පමණ කාලය තුළ ඝන වලාවෙන් වැසී පැවැතීම මෙම අදෘශ්‍යමාන බවට හේතු වී තිබේ.
මාචු පීචු හි ඇති අපූර්වත්වය පිළීබඳව එහි සංචාරය කළ පුද්ගලයෙකුගේ අත්දැකීම් ඇසුරින් අසන්නට ලැබෙන්නේ නම් එයද භාග්‍යයකි.
“අහස වළාකුළුවලින් බරවූ දිනක පවා මාචු පීචු නටඹුන් වෙත ළඟාවීම එතරම් පහසු නොවේ. මාචු පීචු වෙත ගමන් කරන අතරතුර ඉන්කාවරුන් විසින් ගෙඩ නගන ලද ඉතා අලංකාරවූ බිම් කබවල් සහ බොහෝ ආකර්ශණිය නටඹුන් පසුකළ යුතු වෙයි.
සංචාරකයන් බොහෝ විට රාත්‍රිය ගත කරන ඉතා අලංකාරවූ බිම හඳුන්වනු ලබන්නේ හුයිනේ හයානා ලෙසිනි. පඩි දොළහක් සහිත ඉතා උස දිය ඇල්ලක් ඒ තැන පසුබිම් කොට ගලාගෙන යයි.
දිනයක් අවසන් වන මොහොත පැමිණ විට මාචු පීචු වෙත ඇතුල්වන ප්‍රධාන ගේට්ටුව වසා දමනු ලබයි. රැහැයියන්ගේ හා කුරුල්ලන්ගේ නාදයද පැතිර යයි. ඉන්කා ගල් බිත්ති යෝධයන් සේ නැඟී සිටියි. උරුබාමා ගංගාව ඊට මීටර් සියයක් පමණ පහළින් ගලා බසියි. හරිත පැහැ කඳුගැට හාත්පස විසිර තිබේ.
විශාල ගල් පඩිපෙළවල් චතුරස්රාකාර දොරවල් යෙදූ විහාර සංකීර්ණය, නිවාස, දිය මල් ආදිය ඉන්කාවරු විසින් ගො නගන ලද්දේ මීට සහස්ර භාගයකට පමණ පෙරය. මෙම අපූර්ව නිර්මාණය මතට සඳ එළිය වැටුණු විට අමුතුම අලංකාරයක් එක් වෙයි. “
මෙම නගරය ප්‍රධාන වශයෙන් ජනාකීර්ණ සහ කෘෂිකාර්මික ලෙස කොටස් දෙකකට බෙදා තිබී ඇති බව සැලකේ. එමෙන්ම ඉහළ නගරය සහ පහළ නගරය ලෙස ජනාකීර්ණ ප්‍රදේශය බෙදා තිබී ඇත.
Machu Picchu පිළිබඳ නොයෙකුත් විවිධ මතවාද ලොව පුරා පවති. මෙයින් එකක් වන්නේ මෙය සුප්‍රසිද්ධ ඉන්කාවරුන්ගේ “නැතිවුන නගරය” (the lost city) යන්නයි. පසුව මෙම මතය අතහැර දමන ලදි. එමෙන්ම පුරාණ ඉන්කාවරුන්ගේ හිරු දෙවියන් උදෙසා වූ කන්‍යාවන් (Virgins of the Sun) වෙනුවෙන් ඉදි කරන ලද්දක් ලෙසද සැලකේ. තවත් මතයක් වන්නේ මෙය ඉන්කා රාජකීයන්ගේ සුඛවිහරණය උදෙසා ඉදි කෙරුණු ඔවුන් නිවාඩු සුවයෙන් ගතකළ ප්‍රදේශයක් යන්නයි.
මෙය ආගමික නගරයක්ද, සතුරු ආක්‍රමණවලදී පලාගොස් සැඟවීමට සුදුසු ලෙස කඳු මුදුනේ සෑදූ නගරයක්ද යන්න තවමත් නිශ්චිතව හඳුනාගෙන නැත. ස්පාඤ්ඤ ජාතික හමුදා විසින් බෝ කරන ලද වසූරියා රෝගයෙන් බේරීම සඳහා ඉන්කාවරු මාචු පීචු බලකොටුව හැරදමා යන්නට ඇතැයි විශ්වාසයක් ඇත.